යළ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම ලබා දෙන්න; ජනපති

පෙබ 03, 2022

    යල කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ම ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

    අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ සඳහා පොහොර කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදා ගත යුතු බව අවධාරණය කළේය.
    කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නො කිරීම පසුගිය කන්නයේදී ඇතැම් ගොවීන් අසාර්ථක වීමට හේතු වී ඇත. මෙවර එම අඩුපාඩු මඟහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මඟින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතු ය. ඇතැම් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීමට මැළිකමක් දක්වන බව වාර්තා වී තිබේ. අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
    කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ තැබිය නො හැකි ය. ඒ පිළිබඳ ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතු ය. කාබනික වගාවන්ට යොමු වීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
    දේශීය පොහොර නිෂ්පාදකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය අවධානය යොමු කර ඇත. ගුණාත්මක තත්ත්වයෙන් උසස් පොහොර නිසි වේලාවට ලබා දීමෙන් තම කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමේ වගකීම අදාළ සමාගම් සතු ය. රසායනික පොහොර ගෙන්වීම සඳහා වසර ගණනාවක් විදේශයන්ට ගිය රුපියල් බිලියන ගණනක මුදල මෙම කර්මාන්තකරුවන්ට හිමි වීම නිසා නව දේශීය කර්මාන්තයක් ගොඩනැඟීමට හේතු වී ඇත. එමඟින් දේශීය කර්මාන්තකරුවා ද ශක්තිමත් වේ.
    ගොවීන් වැරදි ප්‍රචාරයන්ට හසු වීම නිසා ගුණාත්මක බවින් උසස් පොහොර භාවිතයට නො ගත් අවස්ථා වාර්තා වේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ තමන් බැඳී සිටින බව කාබනික පොහොර ව්‍යවසායකයෝ පැවසූහ.
    පසුගිය මහ කන්නයේ තම ආයතන නිෂ්පාදනය කළ කාබනික පොහොර භාවිතයෙන් ලබා ගත් සාර්ථක අස්වැන්න පිළිබඳව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ සංඛ්‍යා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළහ. සාර්ථක අවස්ථා බොහෝ තිබියදී අසාර්ථක අවස්ථා පමණක් මාධ්‍ය මඟින් පෙන්වා දීම නිසා ගොවි ජනතාව අධෛර්යට පත් වූ බව සාකච්ඡාවේදී නිලධාරීහු පෙන්වා දුන්හ.
    දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවීන්, කෘෂිකර්ම නිලධාරීන්, පොහොර නිෂ්පාදන සමාගම්, රාජ්‍ය නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහූ ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පොහොර නිෂ්පාදනයට අදාළ ආයතනවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    Latest News