'වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරීම සුදුසු නොවේ' - ජනපති

පෙබ 04, 2022

    ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලුදෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද ඇති බව පෙන්වා දෙන ජනාධිපතිතුමා වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරීම සුදුසු නොවන බව ද කියා සිටි.

    අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය උත්සව භූමියට පැමිණීම සැළ කෙරෙමින් හොරණෑ වාදනය සිදු විය. මගුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබිණ.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික, ගුවන් හමුදාපතිවරු සහ පොලිස්පති ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.  පාසල් සිසුවියන් “ජයමංගල ගාථා” හා “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනය, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවය සහ ජනාධිපති උත්තමාචාරය සිදු කරමින් ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජාතිය ඇමතීය.

    රට ඉදිරියේ ඇති අභියෝග ජයගත හැක්කේ ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් වූ කැප කිරීම් සිදු කළහොත් පමණි. දුෂ්කර කාල සැමදා එ ලෙසම නොපවතී. දුෂ්කර කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. අප වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවන බව පැවසූ ජනාධිපතිතුමා, සුබවාදී ප්‍රවේශයකින් ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි බව සඳහන් කළේය.

    රට මේ වන විට මුහුණදී සිටින ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යනවාට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් සෙවීමය. රජය අද අවධානය යොමු කර තිබෙන්නේ ඒ සඳහා බවජනාධිපතිතුමා පැවසීය.

    රටට ආදර්ශයක් වන අයුරින් සැමවිටම කටයුතු කරන ලෙස සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ අනෙකුත් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා, ජනතාවට ඒ ආදර්ශය සපයන විට බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරනු ඇතැයි සඳහන් කළේය.

    දිනූ නිදහස අනාගත පරපුර වෙනුවෙන් සුරකින අතර රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවට දුන් ප්‍රතිඥාව සැමවිටම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණ  කළේය. නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කරගත් අභිමානවත් දේශයක් ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු දේශප්‍රේමී ජනතාවට ආරාධනා කළේය.

    74 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධානය කර තිබිණ.

    යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකාය ආචාර පෙළපාලියට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කෙරුණු දැකුම්කලු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය.

    මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, පස්වන විධායක ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කැබිනට් අමාත්‍යවරු, මහ බැංකුවේ අධිපති,  රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවර, මහකොමසාරිස්වරු, ජනාධිපති හා අග්‍රාමාත්‍ය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු,  රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News