එන්නත් නොකළ අය පොදු ස්ථානවලට ඇතුළු වීම වළකන ගැසට් නිවේදනයට එරෙහි පෙත්සමක්

මාර් 07, 2022

    කොරෝනා වැළැක්වීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්නොවු පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් අත්හිටුවන ලෙස ඉල්ලා මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රී බී. නන්ද සුලෝචන පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.



    එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්. ඩී. ජේ. අභයගුණවර්‍ධන, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ සහ නීතිපති වරයා ඇතුළු 06 දෙනෙකු නම් කර තිබෙනවා.

    පොදු ස්ථානවලට ඇතුලත් වීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක් වීම අනිවාර්ය කරමින් රෙගුලාසි ඇතුළත් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉකුත් ජනවාරි මස 25 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පෙත්සමෙහි සදහන් වෙනවා.

    කොරෝනා වැළැක්වීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදය ද අනුමත කර තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු එසේ තිබියදී එන්නත්කරණය අනිවාර්ය කිරීම තුළින් දේශීය වෛද්‍ය ක්‍රමයේ සහය පතන අයට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

    මේ තුළින් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වන බවත් ඔහු පෙන්වා දෙනවා.

    එබැවින් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත් පුද්ගලයන්ට ද පොදු ස්ථානවලට ඇතුලත් විය හැකි පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝග කරන ලෙස ද පෙත්සම් මගින් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News