තෙළිඟු ජනතාවගේ ගැටලු විසඳීමට අගමැති මැදිහත්වෙයි

මාර් 12, 2022

    ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ඒ ඒ විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

    සමස්ත ලංකා තෙළිඟු ශිල්පීන්ගේ සංස්කෘතික සංගමය සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකා තෙළිඟු ජනතාවගේ නායක කේ.ආර් අනවත්තු මහතා ඇතුළු දිවයින පුරා තෙළිඟු ජනතාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ මෙහි දී  තෙළිඟු ජනතාව මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කළේය.

    “අග්‍රාමාත්‍යතුමා එදා ධීවර අමාත්‍යතුමා විදියට සිටි කාලයේ අපට නිවාස 125ක් හදලා දුන්නා. ජනගහනය ඉහළ ගිහිං. දැනට අපේ ගම්මාන හතක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් 2015 දක්වා අපි ගැන සොයා බැලුවා. ඒ ගැන අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. එහෙත් පසුගිය ආණ්ඩුව අපි ගැන සොයා බැලුවේ නැහැ. දැනටත් අපි පදිංචි ස්ථාන සඳහා ඉඩම් ඔප්පු නොමැතිවීම විශාල ගැටලුවක්” යැයි ශ්‍රී ලංකා තෙළිඟු ජනතාවගේ නායක කේ.ආර් අනවත්තු මහතා පැවසීය.

    මාස තුනක පමණ කාලයක් තුළ මෙම ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් මෙහි දී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමානුකූල කිරීමේ එකඟතාව මත ප්‍රාදේශිය ලේකම් මාර්ගයෙන් මොවුන්ගේ දෙවැනි පරම්පරාවට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේය.

    තෙළිඟු ජනතාව මුහුණ පා සිටින නිවාස ගැටලුව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලට ගොස් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතාට උපදෙස් දුන්නේය.

    ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් නිවාස ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා තෙළිඟු ජනතා නියෝජිතයන් හමුවේ විශ්වාසය පළ කළේය.

    තෙළිඟු ගම්මානවල මං මාවත් ඉදිකිරීම, අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි  සහන පිරිනැමීම මෙන්ම විදේශ සංචාරකයන් වෙනුවෙන් තෙළිඟු සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.

    ඒ සඳහා අදාළ ආයතන කඩිනමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී  ප්‍රකාශ කළේය.

    තෙළිඟු ජනතාවගේ සංස්කෘතික අංග දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිරිපත් කිරීමේ දී අදාළ ස්ථානවල දැනට පවතින බාධාවන් ඉවත්කිරීමට කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.

    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන් වන ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි,  පී.ඒ.අයි. සිරිනිමල් පෙරේරා,  මහාචාර්ය කපිල ගුණවර්ධන, එස්. හෙට්ටිආරච්චි, අග්‍රාමාත්‍යඅතිරේක ලේකම් මහින්ද ගුණරත්න,  වනජීවී සංරක්ෂණ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා, ජාතික ජලසම්පාදනෙ හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග,ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) වයි.එම්.වයි. යාපා බණ්ඩාර, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (මාර්ග නඩත්තු) බී.ඒ.ආර්. ප්‍රේමරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාර්ග නඩත්තු) ඒ.එම්.එම්. ජාබීර්,  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශාමිලා ක්‍රිෂාන්ති, මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා තෙළිඟු ජනතාවගේ ප්‍රධාන නායක කේ.එන්. අනවත්තු,තෙළිඟු ජන සංගමයේ ලේකම් ඩී.නිමල් මහත්වරු ඇතුළු නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.

    Latest News