රෝහල් 55ට සුළු සේවා පාලක පත්වීම් 108ක්

මාර් 15, 2022

    මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙනු ලැබීය.

    අදාල පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, සීමිත පදනම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඕවසියර් III ශ්‍රේණියට උසස් කිරීමේ පත්වීම් ලෙස මෙම ලිපි ප්‍රදානය කෙරිණි.

    2021.10.24 දින පැවැති සීමිත තරග විභාගයෙන් ලබාගත් ප්‍රතිඵල හා 2022.02.22 / 23 පැවැති යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දිවයින පුරා රෝහල් තුළින් තෝරාගත් 108 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට සුළු සේවා පාලක තනතුරේ 240 ක් සේවය කරනු ලබන අතර එහෙත් සිටිය යුතු ප්‍රමාණය 348 කි. ඒ අනුව පුරප්පාඩුව ලෙස පැවැති ප්‍රමාණය වන 108 බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ අනුව කටයුතු කර ඇත.

    කණිෂ්ඨ කාර්ය මණ්ඩල පැමිණීමේ ලේඛණය පවත්වාගෙනයාම, අධීක්ෂණය, සේවක නිවාඩු හා අදාල කටයුතු, සේවා මුර පිළියෙල කිරිම, රාජකාරී අධීක්ෂණය, අදාල අංශ වෙත සුළු සේවකයින් ගැටළුවකින් තොරව යොමු කිරිම ඇතුලු සේවා වගකිම් රැසක් ඔවසියර් තනතුර විසින් සිදු කරනු ලබයි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යසනය මෙරටට පැමිණෙන විට නිසි අවබෝධයක්, අත්දැකීමක් නොතිබුණ බවත් එහෙත් වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවකයින් කළ කැපවීම ඉතිහාසගත වන බවත්ය.

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව රටෙහි කිසිම ක්ෂේත්‍රයක එදා මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබුණ බවත් , එය භයානක වසංගතයක් ලෙස නොසලකා බිය, අවිනිශ්චිතතාව සියල්ල පසෙක තබා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළු කාර්ය මණ්ඩල සිදු කළ කැපවීම අතිමහත් බවත් සෞඛ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

    නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය ඒ අයුරින්ම රැකගැනීමට හැකිව තිබෙන්නේ භෞතික සම්පත්වලට වඩා පිරිස් බලය ලෙස ඒ වෙනුවෙන් කැප වූ සේවකයින් නිසා බවද සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු ඉතා ගෞරවනීය ක්ෂේත්‍රයක් බවද පැවැසු අමාත්‍යවරයා එහි වෘත්තිය ගරුත්වය රැකගෙන සිය රාජකාරි ඉටු කරන ලෙස ද නව පත්වීම් ලාභීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (පාලන) ඩි.එල්.යූ පීරිස්, අධ්‍යක්ෂ (පාලන) 04 මුදිත විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News