කොන්දේසි කැඩූ යතුරුපැදි සවාරියක් පොලීසියෙන් නවතයි

මාර් 18, 2022

    කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා වූ යතුරුපැදි සවාරියක් නවතා දමා තිබේ. පොලීසිය පවසන්නේ, මහජනතාවගෙන් එල්ල වූ විරෝධය සලකා බලා එය නවතා දැමීමට පියවර ගත් බවයි.

    පෞද්ගලික යතුරුපැදි සමාජයක් සංවිධාන කළ මෙම යතුරුපැදි සවාරිය ඊයේ ආරම්භ කෙරුණු අතර එය හෙට අවසන් වීමට නියමිතව තිබිණ.

    එම යතුරුපැදි සමාජය මහරගම අපේක්ෂා රෝහලට මුදල් පරිත්‍යාග කිරීමේ සහ කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ වැඩසටහනේ තවත් අංගයක් ලෙසයි,මෙම යතුරුපැදි සවාරිය සංවිධාන කෙරුණේ.

    ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් ලෙස සහ සමාජ සේවා කාර්යයකට අදාළව නීත්‍යනුකූලව කර තිබූ ඉල්ලීමක් බැවින් අනතුරුව නියමිත කොන්දේසිවලට යටත්ව අදාළ රජයේ ගාස්තු අය කිරීමෙන් පසු ඒ සඳහා අවසර දුන් බවයි පොලීසිය පවසන්නේ.

    ඔවුන් වෙත ලබාදුන් ප්‍රධාන කොන්දේසි අතර, සහභාගී වන්නන් සඳහා වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම, නියමිත පරිදි ආරක්ෂක හිස්වැසුම් පැළඳ සිටීම,යතුරුපැදි ලියාපදිංචිය සහ රක්ෂණය කර තිබීම, යතුරුපැදි නියමිත ධාරිතාව නොඉක්මවීම, සියලුම මාර්ග නීතිරීතිවලට අවනතව ධාවනය, ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධානය මණ්ඩලය දැරීම, රජයේ හෝ පෞද්ගලික අංශයේ දේපලකට අලාභ සිදු වුවහොත් සංවිධායක මණ්ඩලය එය ප්‍රතිපූර්ණ කිරීම යන කොන්දේසි ද මීට ඇතුලත් කර තිබිණ.

    Latest News