ඡන්දයක් ඉල්ලූ සත්‍ය ගවේෂකයන්ගේ පෙත්සමට දිනයක්

මාර් 08, 2019

    කල් දමා තිබෙන පලාත් සභා මැතිවරණ වහාම පවත්වන්න ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 29 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය.

    මෙම පෙත්සම සම්බන්ධයෙන් අද දින කරුණු දක්වන ලෙස දන්වමින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් වෙත මීට පෙර දින නොතීසි නිකුත් කර තිබුණත් ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ඉදිරිපත් වී නොතිබිණ.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 29 දක්වා කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුවත් කරමින් වගඋත්තරකරුවන් වෙත යළි නොතිසි යවන ලෙසද පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

    පෙත්සම්කාර සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසන්නේ පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් යාම හේතුවෙන් මහජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවයි. එම නිසා අදාළ මැතිවරණ වහාම පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අදාළ සංවිධානය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Latest News