මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ යෙදී සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට අගැයීමක්

සැප් 23, 2022

    මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිය සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිදු කළ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාන්විත දෙකක් සම්බන්ධයෙන් අගැයීමට ලක් වුණා.

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් “මිනුස්මා” ආඥාපතිවරයා ශ්‍රී ලංකා භට පිරිස් හමුවීමට පැමිණ මෙම අගැයීම සිදු කර තිබෙනවා.

    ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ඉහළ වෘත්තීමය නිපුනත්වයකින් හා අත්දැකීම්වලින් සමන්විතව 2017 වසරේ සිට මාලි රාජ්‍යයේ රථ වාහන ආරක්ෂක රාජකාරීවල යෙදී සිටිනවා. පසුගියදා එරට ‍ගා‍ඕ සිට කිඩාල් ප්‍රදේශය දක්වා භට කාර්ය සම්පාදන රථ පෙළක් ගමන් කරන අතරතුර ශ්‍රී ලංකා භට පිරිස් විසින් පුපුරනද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදා සකස් කරන ලද බෝම්බ දෙකක් මාර්ගය අසළ තිබී හඳුනා ගනු ලැබුවා.

    සිදුවීමට ඉඩ තිබූ විශාල පිපිරීමක් වලක්වාලමින් එම පිපිරුම් උපාංග නිශ්ක්‍රීය කිරීමට ‍12 වැනි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය එහිදී සමත් වුණා. මිනුස්මා මූලස්ථාන ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් විසින් එම බලකායේ මේජර් ඩී. එම්. ඩී. සෙනෙවිරත්න වෙත ඇගයීම් පදක්කමක් ද ප්‍රධානය කර තිබෙනවා. එරට පරීක්ෂා කිරීම් සහ හඳුනා ගැනීමේ ක්‍රියාන්විත සඳහා වග කිව යුතු නිලධාරියා ලෙස, මිනුස්මා මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිවරයා විසින් ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සුපරීක්ෂාකාරී බව, අවධානය, කඩිසරබව හා කළමනාකාරීත්වය පිළිබඳ අගැයීමට ලක් කරනු ලැබුවා. ඉකුත් මාස කිහිපය තුළ මාලි රාජ්‍ය‍යේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ රාජකාරිවල නිරත හමුදා භට පිරිස් ඉලක්ක කර ඔවුන්ගේ ප්‍රචන්ඩ ක්‍රියා තීව්‍ර කර තිබෙනවා. එම තත්වය එරට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා ඇති සියලුම රටවල භට පිරිස් වෙත ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇති බවයි, යුද හමුදාව පවසන්නේ.

    Latest News