ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘උද්‍යානය ලෙස පින්නවල නම් කිරීමට අවධානය

සැප් 26, 2022

    ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස පින්නවල සත්වොද්‍යානය නම් කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ.

    මේ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර කඩිනමින් වැඩපිළිවෙළක් සකසන්නැයි ඊයේ (25) එහි කළ සංචාරයේදී ඇමැතිවරයා සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාට උපදෙස් ලබා දුන්නේය.

    එහි සංචාරයක නිරතවූ ඇමැති අමරවීර මහතා සහ පින්නවල අලි අනාථාගාරය සහ සත්වොද්‍යානය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ, දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකු රාත්‍රි කාලයේ පින්නවල අලි අනාථාගාරය සහ සත්වොද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල විනෝදවීමට රුචිකත්වයක් දක්වන බවයි.

    එහෙත් සවස 5.00න් පසු මෙම ස්ථාන වසා දැමෙන නිසා බොහෝ සංචාරකයන්ට ආපසු හැරී යාමට සිදුවී ඇති බවත් මෙය ‘නයිට් සෆාරි ‘ උද්‍යානයක් ලෙස නම් කළ හැකි නම් එය මෙරට පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස දෙස් - විදෙස් සංචාරක පැමිණිම වැඩිවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයටද යහපත් කාලයක් උදාවනු ඇති බවත්, ඔවුහු අමාත්‍යවරයා හමුවේ පැවසීය. 

    මේ වන විට සංචාරකයන්ගේ පැමිණිම යහපත් අතට හැරෙමින් පවතින නිසා මේ පියවර ගතහොත් රටට විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙනු ඇතැයිද, එම නියෝජිතයේ පෙන්වා දුන්හ.

    පින්නවල අලිඅනාථාගාරය හා සත්වොද්‍යානය එකම කලාපයක් බවට පත් කිරීම, සතුන්ට කෑම කැවීමට හැකි පරිදි පරිසරය සැකසුණු ළමා උද්‍යානයක් මේ පරිශ්‍රෙය් ඉදිකිරීම ඇතුළු යෝජනා කීපයක්ද මෙම නියෝජිතයින් අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කරන ලදි. 

    Latest News