චීනයෙන් ජංගම රසායනාගාර බස් රථ 08ක්

සැප් 27, 2022

    රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08ක් ඊයේ (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ඊයේ නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දීමට නියමිතයි.

    මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම්වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ.

    එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ ඇති බවද සඳහන්වේ.

    දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකියි.

    එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග රණසිංහ මහතා පැවසීය.

    Latest News