හිටපු අමාත්‍ය පාඨලීගේ විදේශ ගමන් තහනම ඉවතට

මැයි 12, 2023

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කිරීම , තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීම, සාක්ෂි සැඟවීම ඇතුළු අධි චෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කළ නඩුවකට ඇප නියම කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය මගින් නියම කර තිබුණා.

    අද දින පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට සිය දියණිය දැක බලා ගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළා.

    ඒ සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 13 වනදා සිට සැප්තැම්බර් මස 23 වනදා දක්වා කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

    Latest News