සසුනට පාලකයෙකු ඉටුකරන අති ශ්‍රේෂ්ඨ වගකීම ජනපති ඉටු කළා

මාර් 29, 2019

    සම්බුදු සසුන වෙනුවෙන් ඉතිහාසයේ පාලකයෙකු විසින් ඉටුකරන ලද අති ශ්‍රේෂ්ඨ වගකීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉටුකර තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරති.

    මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේ එය ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමට බවත් අපගේ සංස්කෘතිය හා සාහිත්‍ය ගොඩනැගුණේ ථෙරවාද ත්‍රිපිටකය මත පදනම්ව බැවින් ත්‍රිපිටකය ප්‍රායෝගික මට්ටමට ගෙන එමින් ජනාධිපතිතුමා උත්සාහ දරන්නේ එම සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට බවත් උන්වහන්සේ පැවසූහ.

    එමෙන්ම උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් දක්වා ඔසවා තැබීමට ජනාධිපතිතුමා දරනු ලබන උත්සාහය පිළිබඳව රටේ මහා සංඝරත්නය අතිශය සතුටට පත්වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගොඩනැඟිලි සංකීර්ණයේ මංගල ශිලා ස්ථාපනය කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණු අතර එහි දී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

    අභිනව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි. ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්ම ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය. පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය විසින් සම්පාදිත සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය කෘති 03 ක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    කැලණිය විශ්විවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් ද, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 18:52

    Latest News