වජිරාරාම දහම් පාසලේ සියවස් සමරුවට ජනපති එක් වෙයි

මාර් 31, 2019

    බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කළ, විදුරු විදස්න, සියවස් සමරු ප‍්‍රදර්ශනයේ තෙවන දිනය වන අද (31) ප‍්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    සිරි වජිරාරාමයේ වැඩ විසු ගෞරවණීය ස්වාමින් වහන්සේලාගෙන් ශාසනික වශයෙන් සිදුවූ සේවය පුනරාවර්ජනය කිරීම, අගය කිරීම, උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම හා කළ කී දෑ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම ප‍්‍රදර්ශනයේ මූලික අරමුණ වන අතර එය මාර්තු 29 වනදා ආරම්භ කෙරිණි.

    සියක් වසක අමිල මෙහෙවර සඳහා කැපවූ අපවත් වී වදාළ සහ සුජීවත්ව සිටින්නා වු ගෞරවණීය ස්වාමින් වහන්සේලාගේ ඡායාරූප, පරිහරණය කළ භාණ්ඩ, මතක සටහන්, ලිපි සහ පොත්පත් බොහොමයක් මෙන්ම රට, ජාතිය, ශාසනය රැකගනු වස් දිවි පිදු විරෝදාර චරිත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමටත් ප‍්‍රදර්ශන භූමියේ දී අවස්ථාව සලසා තිබේ.

    අද පෙරවරුවේ සිරි වජිරාරාමය වෙත ගිය ජනාධිපතිතුමා දහම් පාසල් සිසුන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය. අනතුරුව විදුරු විදස්න ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. එමෙන්ම එහි තැන්පත් කර තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. සිරි වජිරාරාම විහාරස්ථානයේ පුස්තකාලය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරික්ෂණය කරමින් විශේෂ සමරු සටහනක් ද තැබීය.

    අනතුරුව පැලෑනේ මහා නා හිමි හරසර කුටිය වෙත ගොස් උන්වහන්සේ විසින් පරිහරණය කළ භාණ්ඩ, පොත් පත් ඇතුළු මතක සටහන් දැකබලා ගැනීමට ද එක්විය. අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති අමරපුර කල්‍යානවංශ මහා නිකායේ මහානායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ, සිරි වජිරාරාමාධිපති අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහා නායක පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව ජනාධිපතිතුමා දහම් පාසල් සිසුන්ගේ ද සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත විය.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 18:10

    Latest News