පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම අද කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්

අප්‍රේ 22, 2019

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද(22) පස්වරුවෙහි ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්විණි.

    පෙර දින රට තුළ ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ සියළු නියෝජිතයෝ සිය කණගාටුව පළකළ අතර ඇති වූ සිද්ධිය පිළිබඳව මෙන්ම ඉදිරි ආරක්ෂක තත්වයන් පිළිබඳව ද දැඩි ලෙස මෙහි දී අවධානය යොමු විය.

    මෙහිදී කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද පක්ෂ නායකයන් දැණුවත් කරන ලදි. ඒ අනුව හෙට(23) ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පවතින තත්වය අළලා විශේෂ ප්‍රකාශයන් සිදුකිරීමටත් තීරණය කෙරිණි.

    අද දින පක්ෂ නායක රැස්වීම හමුවට පොලිස්පතිවරයාවද කැඳවා තිබූ අතර ‍මේවනවිට පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයන් විසින් කරුණ විමසා සිටින ලද අතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග සඳහා පූර්ණ ලෙස අවධානය යොමු කරන ලෙසට ද උපදෙස් දෙන ලදි.

    හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ද හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව 2019-04-24 දින පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

    මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ හදිසි රැස්වීමක් ද අද පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට එහි සාමාජිකයන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මැති ඇමතිවරු එක්ව සිටියහ.

    මෙහිදී කථානායකවරයා අවධාරණය කරන ලද්දේ ඇතිවූ සිද්ධීන් කිසිලෙසකින්වත් ජාතිවාදී හෝ ආගම්වාදී ස්වරූපයකින් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බවයි. සියළුම සාමාජිකයෝ එම කරුණ පිළිබඳව අවධාරණය කරමින් අදහස් දැක්වූහ.

    මේ අතර පවතින තත්වය පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා අප්‍රේල් මස 26 වන සිකුරාදා පස්වරු 03.00 ට සියළු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ දී කැඳවීමට ද විශේෂ කාරක සභාව විසින් තීරණය කරන ලදි.

    Latest News