රටට නොගැලපෙන ප්‍රතිපත්තිය අගමැති පුටුවෙන් ඉවත් කළා ... ජනපති (වීඩියෝ)

නොවැ 05, 2018
  • අගමැති පුටුවෙන් ඉවත් කළේ ශරීර කූඩු දෙකක් නොවන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

    රටට නොගැලපෙන, රටට අහිතකර විදේශ ගැති අපගේ සිතුම්-පැතුම් හඳුනානොගත්, දර්ශනය ඉවත් කළ බවයි, ඔහු කියා සිටියේ. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තු වටරවුමේ පැවති “රටම රකින ජන මහිමය“ රැලියට එක්වෙමින්.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින්.
    “එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ප්‍රබල ජන්දයෙන් බලයට පත්වූ මම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති පුටුවට පත්කිරීම සඳහා කැමති වුයේ මන්ද කියා මගෙන් විමසනවා. මිත්‍රවරුනි පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන ඡන්දයෙන් ඔබලා ඡන්දෙ දිලා ජයග්‍රහණය කෙරුවට පස්සේ, වික්‍රමසිංහ මහතාට විශ්වාසභංග යෝජනාව ගෙනාවට පස්සේ මා හිතවත් කරු ජයසුරිය මහතාට මා කිව්වා මට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ කියලා. ඒක නිසා මම කරු ජයසුරිය මහතාට කිව්වා ඔහුට අගමැති කම බාරගන්න කියලා. මම කරු ජයසුරිය මහතාට වැන්දේ නැති ටික විතරයි. අවසානයේ දි කරු ජයසුරිය මහතා කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට එකඟවෙන්නම් හෙට හමුවෙන්නම් කියලා. මාව තනියම හමුවෙන්න එනව කියපු කරු ජයසුරිය මහතා පහුවෙනිදා ආවේ රනිල් වක්‍රමසිංහ මහතාත් සමඟයි. ඇවිල්ලා කිව්වා අගමැතිතුමාට එරෙහි වෙන්න බැහැයි කියලා. මගේ ව්‍යායාමය මම එතනින් අවසන් කෙරුවේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතයට මම පසුගිය මාස දෙකේම කිව්වා අපි රනිල්ව අගමැතිකමින් අයින් කරලා අගමැතිකම ඔහුට බාරගන්න කියලා. කරු ජයසුරිය මහතා වගේම සජිත් ප්‍රේමදාස මහතාත් කිව්ව ඔහුට නායකතුමත් එක්ක හැප්පෙන්න බැහැ කියලා.
    ඒක නිසා මම කල්පනා කලා රටට ගැලපෙන නායකයෙක් හොයන්න. රනිල් එක්ක හැප්පෙන්න බැහැයි කියපු කරු ජයසුරියටත්, සජිත්ටත්, වගේ නෙවෙයි මම අද පත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහව පෙරලගෙන යන්න පුලුවන් මහින්ද රාජපක්‍ෂ කියලා මට අද ආඩම්බරයෙන් කියන්න පුලුවන්. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වුණාට පස්සේ මහනායක හිමිවරුන් මෙන්ම අනෙකුත් නායකවරුන් ද හමුවී තිබෙනවා.
    ඒ වගේ ජයශ්‍රී මා බෝධින් වහන්සේ මේ දවස් තුනට ඔහු වැඳ පුදාගත්තා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා ගියා ද මහනාහිමිවරු හමුවන්න. රනිල් වික්‍රමසිංහ මහතා ගියා ද ජය ශ්‍රී බෝධිය වඳින්න. රනිල් වික්‍රමසිංහ මහතා ගියා ද කාදිනල්තුමා හමුවන්න. රනිල් වික්‍රමසිංහ මහතා දණින් වැටිලා ඉන්නවා තානාපති කාර්යාල ළඟ. මම මේ තීරණය ගත්තේ නීති විශාරදයින්, අපේ ව්‍යවස්ථාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති අය මෙන්ම, ජාත්‍යන්තරය සම්බන්ධයෙන් විශිෂ්ට දැනුමක් ඇති අයගේ අදහස් එකතු කරලා නීතියට අනුව ව්‍යවස්ථානු කූලවයි මහින්ද රාජපක්‍ෂ මහතාව මම අගමැති ධූරයට පත් කළේ. මේ පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් විසඳා ගැනිමට තියෙනවානම් මේ රට අපක්‍ෂපාති අධිකරණයක් තිබෙන රටක්. ඒක නිසා ඕනෑම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ගැටලුව විසඳාගන්න. අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. 113 ගැන ගැටලුවක් මතුකරගන්න එපා. 113 හඳලා ඉවරයි. මොන විධියේ බලවේග ආවත්, මොන විධියේ තර්ජන ආවත්, මොන විධියේ පීඩාවන් කළත් මම කිසි දවසක ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැතැයි ද ජනාධිපතිතුමා කියා සිටියා.

     

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 06 නොවැම්බර් 2018 09:16

    Latest News