ෆොනී දිවයිනෙන් ඉවතට - මි.මී.100 ඉක්මවූ වැසි

මැයි 02, 2019

    මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පැවතිණ.

    මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකිය.

    දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:38

    Latest News