මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පක්ෂ නායකයන් ඇතුළු නියෝජිතයන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු අතුළු විද්වතුන් ද, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මසක් වැනි කෙටි කාලයක් ඇතුළත පසුගියදා රට තුළ ඇති වූ තත්ත්වය සමනය කිරීමට පියවර ගැනීම පිළිබඳ සියලූ නියෝජිතයින්ට ජනාධිපතිතුමා වෙත සිය ප්‍රශංසාව පළ කළහ. එමෙන්ම සියලූ පාර්ශ්වයන්ගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනා ද ඉදිරිපත් කිරීමට වේදිකාවක් සලසා දෙමින් මෙවන් සාකච්ඡා මාලාවක් කැඳවීම පිළිබඳ ඔවුහු ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර එය ඉතා කාලෝචිත පියවරක් බව ද කියා සිටියහ.
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවසන් වුව ද ලෝකයේ අනෙකුත් රටවල් ත්‍රස්ත සංවිධානය පිළිබඳ ඇති අත්දැකීම් අනුව ජාතික ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසියීය. මෙම ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට සියලූ පාර්ශ්වයන්ගේ සහාය ඊට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. මෙම රැස්වීම මසකට වරක් කැඳවීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ යම් අඩු පාඩු හා දුර්වලතා තිබේ නම් ඒ පිළිබඳ මෙහිදී අදහස් ඉදිරිපත් කළ හැකි අතර අදහස්, යෝජනා, ගැටලූ මෙන්ම චෝදනාවලට ද මෙම සභාව විවෘත බව කියා සිටියේය.
විදෙස් රටවල තානාපතිවරු සමඟ සාකච්ඡා කිරීමට තමාට පසුගිය දින කිහිපයේ අවස්ථාව ලැබුණු අතර රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඔවුන් සියලූදෙනා සෑහීමකට පත්ව සිටින බව කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දුනී. ඒ අනුව සංචාරකයන් සඳහා ඇතැම් රටවල් පනවා තිබූ බාධක කඩිනමින් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවත්, ඉතා කෙටි කලක් තුළ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කරගත හැකි වනු ඇති බවටත් කතානායකවරයා විශ්වාසය පළ කළේය.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දේශපාලන කෝණයකින් නොබලා සියලූ දෙනා එක්ව කටයුතු කිරීම වැදගත් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුනී.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙම සිදුවීමට අදාළව මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල හැසිරීම පාලනයකට ලක්වීම ඉතා වැදගත් බවයි.
දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අදහස් දක්වමින් මෙරට ආරක්ෂක අංශවල උපරිම සහයෝගය සියලූ ජනතාවට හිමිවීම ඇගැයීමට ලක් කළේය.
ආචාර්ය සරත් අමුණුගම මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදින්ට මුදල් ගලා ඒම සහ එම මුදල් සංසරණය පිළිබඳවත් අවි ආයුධ ඇතුළු යුද උපකරණ ලැබීම පිළිබඳවත් ගැඹූරින් සොයන පුළුල් පරික්ෂණ අවශ්‍ය බවයි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීය ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් මෙම සිදුවීමේ දී රටේ සියලූ ආගමික නායකයන්ගේ කාර්යභාරය ඉතා විශාල බවත්, රටේ ජාතික සමගිය තහවුරු කිරීමට එම සියලූදෙනාට පුළුල් වගකීමක් පැවරී ඇති බවත් කියා සිටියහ.
සියලූදෙනාට ප්‍රධාන විය යුත්තේ රට බවත්, රට වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදීමට කැපවන බව සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමා පෙන්වා දුනි.
ආණ්ඩුකාරවරුන් ද අදහස් දැක්වූහ. ප්‍රජා පොලිස් ඒකක වෙනුවට ප්‍රාදේශීය ප්‍රජා ආරක්ෂක කමිටු වඩා ශක්තිමත්ව සහ විධිමත්ව ස්ථාපනය කිරීම තුළින් ජාතික ආරක්ෂවට වඩා පුළුල් සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවට එහිදී විශ්වාසය පළ කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ සියලූ කරුණු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන අතර, ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී මෙම සියලූ කරුණු සාකච්ඡාවට බඳුන් කරමින් විධිමත් වැඩපිළිවෙළක් හරහා ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අසංක අබේගුණසේකර මහතා අදහස් දක්වමින් අසත්‍ය ප්රවෘත්ති වැළැක්වීම පිළිබඳ නව පනත් සම්පාදනය ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර කළහ.
ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්රධානිහු ද අදහස් දැක්වූ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකමක් බැවින් ජාත්‍යන්තර බුද්ධි අංශවල සහයෝගය ලබාගනිමින් එහි ක්‍රියාකාරිත්වය වැළැක්වීමට ගෙන තිබෙන පියවර පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.