මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනපති සහභාගිවේ

මැයි 26, 2019

    ශ්‍රී ලංකා රජය සමඟ සමීපව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    ජනාධිපතිවරයා යැවූ සුබපැතුම් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා දෙවැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට සුබපැතුම් එක් කළේය. එයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ස්තූතිය පළ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කලේ අපගේ සමීප සහයෝගිතාවය තවත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවයි.

    මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ නිල උත්සවයට සහභාගි වන බව ජනාධිපති කාර්යාලය තහවුරු කළ බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවරදී ලබන 30 වැනිදා දෙවැනි ධූර කාලයේ දිවුරුම්දීමට නියමිතයි.

    මේ අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුබපැතුම් පණිවුඩයට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා අඛණ්ඩ සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්‍ෂා කරන බවයි.

    Last modified on ඉරිදා, 26 මැයි 2019 16:29

    Latest News