ජනපති: ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදා කිරිමට කැපවුණා

ජූනි 01, 2019

    ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ දුගී භාවය තුරන් කර පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ වෙනුවෙන් වූ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවූ අතර කඩිනමි නොවුණත් සැබෑ සංවර්ධනයක ප‍්‍රතිලාභ අද රටේ ගොවි ජනතාවට හිමිව ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, මැදිරිගිරිය ප‍්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට අද (01) එක්වෙමිනි.

    මැදිරිගිරිය ලංකාපුර ඇතුළු ඒ අවට ප‍්‍රදේශ රැසක් නිකසළ පුරවරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සුංගාවිල ප‍්‍රදේශයේ ඉදිකරන ලද යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය පළමුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. ජයිකා ආයතනයේ සහය ඇතිව ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානය මගින් දිනකට කසළ ටොන් 50ක් පමණ ප‍්‍රතිචකී‍්‍රකරණය කෙරෙන අතර ඉන් කොම්පොස්ට් පොහොර ටොන් 20ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. වැය කර ඇති මුදල රුපියල් මිලියන 230 ක් වන අතර ව්‍යාපෘතිය ඉදිරියේ දී දිවයිනේ පළාත් නවය තුළම කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

    සමරු ඵලකය නිරාවරණය කර යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කිරීමට ද එක් විය. සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර රුපියල් මිලියන 58ක වියදමින් ඉදිකෙරුණු බිසෝපුර නව මහවැලි සංචාරක නිවාසය ද අද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. මහවැලි ගංගාද්‍රෝණිය ආශ‍්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප‍්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු විය. මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ තවත් එක් අතුරු ඵලයක් වූ මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ ජනපදික ගොවි ජනතාවගේ සමාජ ව්‍යවසායකත්ව සංවර්ධනය නංවාලීම අරමුණු කර ගනිමින්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු කරවීමේ ව්‍යාපෘතියේ දායකත්වයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරන ලද මහවැලි අත්සළු පියස, මහවැලි ඇපරල් සහ මහවැලි මින් විසිතුරු මැදුර හා මහවැලි මල් හා පැළ තවාන විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අනතුරුව පැවති උත්සවයේ දී මහවැලි ඉඩම්ලාභීන් සඳහා ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මැදිරිගිරිය ජනපදිකයන් සඳහා ඉඩම් ඔප්පු 1222 ක් ප‍්‍රදානය සංකේත්වත් කිරීම, ගොවින් වෙත ශුද්ධ වාරි පද්ධති කට්ටල ලබාදීම සංකේතවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර, පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් වෙත නිවාස ප‍්‍රදානය කිරිමේ වැඩසටහන යටතේ මැදිරිගිරිය හා ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 13 දෙනෙකු වෙත නිවාස හිමිකම් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙරට අනාගතය ගොඩනැඟීමේ දී ප‍්‍රධාන සාධකයක් වන්නේ ගොවි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීම බවයි. රටේම ගොවි ජනතාව මුහුණ දී සිටි ජල ගැටලූව ඇතුළු මූලික ගැටලූවලට විසඳුම් ලබාදෙමින් ගොවි ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් තමාට පසුගිය වසර කිහිපය තුළ ඉටුකිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 19:02

    Latest News