ගාමිණී සෙනරත්ගේ ලිට්‍රෝ ගෑස් නඩුවේ විත්තියේ දේශන 4වන දිනටත්

ජූනි 25, 2019

    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ දේශන ඉදිරිපත් කිරිම හතරවන දිනයටත් අද(25) සිදු කෙරිණ.

    ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළ මෙම විත්තියේ දේශන අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ සිදු කර තිබේ

    සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබිණ.

    එහිදී නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අද සිය දේශන ඉදිරිපත් කළේය.

    අනතුරුව වැඩිදුර විත්තියේ දේශන ඉදිරිපත් කිරීම හෙට දිනට කල් තැබිණ.

    2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය.

    ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

    Latest News