මරණ දඬුවමට එ.ජා.ප. එකඟ නෑ; අගමැති (වීඩියෝ)

ජූනි 30, 2019

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්‍ෂය එකඟ නොවන බවත්, විපක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ රැසක් ඊට විරුද්ධ බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ පිළිබඳව ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය, කතානායකතුමා ඇතුළු පාර්ශ්ව සමඟ සාකච්ජා කරන බව අගමැතිතුමා කියා සිටී. අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.අග්‍රාමාත්‍යතුමා ප්‍රථමයෙන් මොණරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්විය. විද්‍යාලයේ නිරීක්‍ෂණයකට එක්වූ අගමැතිතුමා දෙමාපියන් සමඟ සුහද කතාබහක නිරත වූහ. අගමැතිතුමා සංවර්ධනය වන කොස්ගස්අරාව වැවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය.

    “ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන යටතේ ඉදි කළ දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අගමැතිතුමා අතින් සිදුවිය. විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ එතුමා සිසුන් සහ දෙමාපියන් සමඟ සුහද කතාබහකට එක්වූහ. මාරිඅරාව ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාරි අරාව සතිපොළ භූමියේ පැවති ජන හමුවට එක්විය. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළේය.

    කතරගම නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරිම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය. තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය සහ ජාතික පාසලේ නව පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද අගමැතිතුමා අතින්. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:57

    Latest News