මෙම අභියාචනා අද දීපාලි විජේසුන්දර, සහ අචලා වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඬුල්ල නියෝග කළේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔක්තෝබර් මස 11 වැනිදා විභාගයට ගන්නා බවයි. එදින මෙම අභියාචනා වලට අදාලව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වශයෙන් වාසියක් ලබා දීම සඳහා දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් මිලියන 600 ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු කොට ඔවුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබීය. ඊට අමතරව රුපියල් මිලියන 20ක දඩයක් ගෙවිය යුතු බවටත් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවටත් විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට නියම කර තිබිණ.
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තමන්ට දඬුවම් පමුණුවා ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම චෝදනාවලින් සහ දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම අභියාචනා වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.