දුම්රිය හරස් මාර්ග 200කට විදුලි සීනු සහ වර්ණ සංඥා

ජූලි 26, 2019

    දුම්රිය හරස් මාර්ග 200ක විදුලි සීනු සහ වර්ණ සංඥා සවිකිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් දුම්රිය හරස් මාර්ග හා එහි ආරක්ෂකයින් සම්බන්ධයෙන් මතු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

    දිවයින පුරා මුළු දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 1337ක් ඇති අතර ඒ අතරින් 185ක් ආවරණය කිරීම පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාව සැපයිය යුතු දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 1152ක් වේ. ඉන් හරස් මාර්ග 608ක් මේ වනවිට ආවරණය කර ඇත. මාර්ග බාධක සහිත හරස් මාර්ග 181ක් සහ විදුලි සීනු සහ වර්ණ සංඥා පද්ධති සහිත හරස් මාර්ග 327ක් දැනට ක්‍රියාත්මක වෙයි. අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග සඳහා ආරක්ෂකයින් යෙදවීම කඩනමින් ගත හැකි ක්‍රියාමාර්ග වන අතර එය පොලීසිය යටතේ ක්‍රියාත්මක කර තිබේ.

    දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවර්ණය කිරීමට නියමිත අතර ඉන් 110ක් මේ වන විට ආවණය කර ඇත. ඒ අනුව තවදුරටත් ආවරණය කිරීමට තිබෙන සංඛ්‍යාව 90කි. හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ මෙය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිතය.

    Latest News