සැකකරුවන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා ඇති අවස්තාවක එය බැහැර කොට මහේස්ත්‍රාත්වරිය විසින් ප්රදානය කර ඇතැයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කර සිටියේය.
මිනීමැරුම් චෝදනා එල්ල කර තිබෙන අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයකට ඒ සඳහා ඇප ලබාදීමට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ සඳහා ඇප ලබා දීමට බලය මහාධිකරණයට ඇති බව පෙන්වා දුනි.
මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත මෙම ඇප නියෝගය හරහා නීතියේ අපගමනයක් සිදුවීමට බරපතළ ලෙස ඉඩකඩ පවතින හෙයින් එය සුවිශේෂී කරුණක් සේ සැලකිය හැකි හෙයින් විත්තිය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය නියෝගයෙන් කියා සිටියේය. ඒ අනුව පෙත්සමට අදාලා විරෝධතා තිබේ නම් අගෝස්තු 30 ට පෙර ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් විභාගය සැප්තැම්බර් 6 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන ඉල්ලමෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව දැනුම් දුන්නා
හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් ඇප මත මුදාහැර සිටින තම සේවාදායකයා කෙසේ හෝ රිමාන්ඩ් භාරයට පත් කිරීමේ චේතනාවෙන් නීතිපතිවරයා මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
තම සේවාදායකයා චේතනාන්විතව රාජකාරිය පැහැර හැරීමක් හෝ නොසලකා හැරීමත් සිදු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා මිනීමැරුම් චෝදනා එල්ල කිරීමට තරම් සාධාරණ සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් ඔහු ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළ බව කියා සිටියා.
ජාතික තවුහිද් ජමාද් සංවිධානය තහනම් කිරීමට සහ එම සංවිධානයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා 2017 වසරේ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි බව ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්යක්ෂ වරුන ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශයක සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
එහෙත් ඊට අදාල උපදෙස් නීතිපතිවරයා විසින් මේ දක්වා ලබා දී නොමැති බවත් උපදෙස් ලබා දෙන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශය 2018 වසරේද නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යවා තිබුණත් ඊට ද නීතිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නොතිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. මෙම විමර්ශනයට අදාළව රහස් පොලිසිය විසින් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර දිනයක් තුළ තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් නිකුත් කළ බවත් ඔහු එසේ සිදුකරනු ලැබුවේ තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න පැවසියිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ආරක්ෂාව භාරව කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයා බවත් ආරක්ෂක අමාත්‍යවරයා විසින් දෙනු ලබන විධානයන්ට අනුව කටයුතු කිරීම පමණක් තම සේවාදායක හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදුකරන බවත් ජනාධිපති නීතිඥ මහතා පෙන්වා දුනි. අප්‍රේල් මස 8 වන දා ජනාධිපතිවරයා සහ උසස් පොලිස් නිලධාරීන් අතර පැවති රැස්වීමටද රාජ්‍ය බුද්ධි සේවා ප්‍රදානි නිලන්ත ජයවර්ධන මහතා සහභාගි වී සිටියද එහිදී ඔහු විසින් ජනාධිපතිවරයාට දැනුවත් කළේ ද යන්න සැක සහිත බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේ.
එහෙයින්ම ම සේවාදායකයාට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්රදානය කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් නීතිපතිවරයා සිය පෙත්සමෙන් ඉදිරිපත් කර නොමැති හෙයින් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපති නීතිඥ අනුජ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්රතිශෝධන පෙත්සම විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළේය. මෙම ඇප නියෝගය අහෝසි කිරීමට අදාලවන කිසිදු සුවිශේෂී කරුණක් අන්තර්ගත වී නොමැති හෙයින් පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුනි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් මතු කරනු ලබන මූලික විරෝධතාව කිසිදු නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.
මෙම සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදීමේ නියෝගය එම නඩුවේ අවසානාත්මක නියෝගයක් නොවන හෙයින් එය ප්‍රතිශෝධනය කිරීමට අධිකරණයට බලයක් තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූයේ ඔහු අසනීපව රෝහල්ගතව සිටීම හේතුවෙන් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය අඩුපාඩුවක් නොවන බවයි කියා සිටියේ.
පාස්කු ඉරුදින එල්ලවීමට නියමිතව තිබූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබේ දී ඔවුන් එය සැලකිල්ලට ගෙන කටයුතු කර තිබුණේ නම් එම ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් අත්අඩංගුට ගැනීම කෙසේ වෙතත් ප්‍රහාරයේ හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.