සැබෑ දේශපාලඥයින් හදුනා ගෙන අවසන් - ජනපති

නොවැ 19, 2018

    සැබෑ දේශපාලනඥයා කවුරුන් ද යන්න උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම රටේ පොදු මහජනතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

    පුද්ගලයකුට තැන්පත් බව, ඉවසීම, සදාචාරාත්මක බව, විනය ගරුක බව ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන ඒ මහතා එයින් බැහැරව දේශපාලනය කරන්නන් දේශපාලඥයන් විදියට හැඳින්විය නොහැකි බවද සඳහන් කළේය. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල අමතමින්.

    දේශපාලනඥයන් හා විද්‍යාඥයන් අතර තිබෙන වෙනස මේ කාලයේ පැහැදිලිව දක්නට ලැබෙන බව පැවසූ ඒ මහතා, විද්‍යාඥයන්ගේ තිබෙන තැන්පත්කම, උගත්කම, බුද්ධිය, පරිනත බව, සාදාචාර්තමක බව, විනය ගරුක බව, මානුෂීයත්වය විද්‍යාඥයාගේ ප්‍රධාන කැඩපත විදියට ඒ චරිත ලක්ෂණ තුළ අපිට දකින්න පුළුවන් බවද කීය.

    රටේ ආර්ථික සංවර්ධන ගැටලු විසඳා ගැනීමේදී විද්‍යා, තාක්‍ෂණ සහ පර්යේෂණ ක්‍ෂේත්‍රයේ සහය, මීට වඩා රජයට අවශ්‍ය බව, ජනාධිපතිතුමා පෙන්වා දුනී. එම අංශ සඳහා වාර්ෂික අය-වැයෙන් වෙන් කෙරෙන මුදල මීට වඩා ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා භාණ්ඩාගාරයට හා ආර්ථික විශේෂඥයින්ට උපදෙස් දෙන බව, ඔහු කියා සිටියේය. 

    රටේ සංවර්ධනයේ ඉතා වැදගත් පාර්ශ්වයක් වන විද්‍යාඥයන්, පර්යේෂකයින් සහ තාක්‍ෂණඥයන් රටේ ආර්ථිකයට සහ සවර්ධනයට ඉටු කරන මෙහෙය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. 2016 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු වෛද්‍ය, කෘෂිකර්ම, ඉංජිනේරු සහ මූලික විද්‍යාව යන ක්‍ෂේත්‍ර යටතේ 340 දෙනෙක් ජනාධිපති සම්මාන සඳහා සුදුසුකම් ලබා සිටියේය.

    උසස් ප්‍රමිතීන්ගෙන් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරතවූ ආචාර්ය, මහාචාර්යවරුන් ද ඇගයීමට ලක් කෙරිණ. ජාතික සංවර්ධන සැලසුම්වලදී මෙන්ම, කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ දීමට සිදුවන ආර්ථික සහ සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට විද්වතුන්ගේ සහය අවශ්‍ය බවද, ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 15:02

    Latest News