හිටපු දුම්රිය සාමාන්‍යධිකාරි වරයකුට සහ වාණිජ අධිකාරිවරයකුට අධි චෝදනා

අගෝ 29, 2019

    හිටපු දුම්රිය සාමාන්‍යධිකාරි වරයකු වන පී. පී. විජේසේකර සහ හිටපු දුම්රිය වාණිජ අධිකාරිවරයකු වූ විජය සමරසිංහ යන මහත්වරුන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(29) නියෝග කර තිබේ.

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාරදීම සිදු කෙරුණි.

    අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 8 වනදා සිදුකිරීමටයි විනිසුරුවරයා නියම කළේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාර පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබා ගෙන සිටි ජිලාන් ද සිල්වා නැමැති පුද්ගලයාට 2011 වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට වසරක කාලයක් නීතියට පටහැනි ආකාරයෙන් එම භෝජනාගාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිර්දේශය නීති විරෝධී ලෙස ලබාදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News