කල්මුණේ මුලික රෝහලේ ඉදිකළ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද දින (29) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ එය ඉදිකිරිම සිදුවිය.
2015 වසරේ ඉදිකිරීම ආරම්භ කළ මෙම ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන 372 ක් වැය කොට ඇත. මෙහි කොන්ත්‍රාත් ආයතනය ලෙස ඉංජිනේරුමය කටයුතු පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය ක්‍රියාත්මක විය.
වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා "තමුන්නාන්සේලාගේ මෙම රෝහලට මම 2015 වසරේ දී පැමිණියා බාහිර රෝගී අංශය විවෘත කරන්න. අද පැමිණියේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කරන්න. ලබන මාසය වෙනකොට මම පොරොන්දු වුන සීටි ස්කැනර් යන්ත්‍රයත් ලබාදෙනවා. මෙම හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සදහා රුපියල් මිලියන 372 ක් වියදම් කර තිබෙනවා. එමෙන්ම මෙම රෝහලේ ඔක්සිජන් සිස්ටම් එක සදහා රුපියල් මිලියන 16.4 ක් වියදම් කරලා තිබෙනවා. රුපියල් මිලියන 734 කට වැඩි මුදලක් අපි තමුන්නාන්සේලා වෙනුවෙන් පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ වෙන් කරලා තිබෙනවා. 2015 වසරේ නව රජය පිහිටුවන කොට අපට තිබුනේ හදිසි අනතුරු සේවා ඒකක එකයි. මේ වනවිට හදිසි අනතුරු සේවා සංකීර්ණ 28 ක් අපි හදලා තිබෙනවා. මම එනකොට ළමා රෝහල් තිබුනේ එකයි, දැන් ළමා රෝහල් 12 ක් තිබෙනවා. මාතෘ රෝහල් තිබුනේ 02 යි. අද මාතෘ රෝහල් 12 ක් තිබෙනවා. පිළිකා රොහල් තිබුනේ එකයි. අද පිළිකා රෝහල් 06 ක් තිබෙනවා. මේ වගේ දැවැන්ත සංවර්ධනයක් පසුගිය අවුරුදු තුන හමාරට අපි සිදු කළා. අපි එක සමානව එම සංවර්ධනය උතුරටත් ලබාදුන්නා. අද එක හෘද රෝගියෙක්වත්, පිළිකා රෝගියෙක් වත් ගිලන් රථයේ දාගෙන කොළඹ ගෙන්න ඕන නැහැ. අපි තෙලිප්පලෙයි පිළිකා රෝහලක් හදුවා. හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක 05 ක් විතර දැන් උතුරේ තිබෙනවා. දුෂ්කර හැම පළාතකටම අපි සියලු පහසුකම් ලබාදුන්නා. හැම දිස්ත්‍රික්කයකම නවීන රෝහලක් හදාගෙන යනවා. හම්බන්තොට අළුත්ම රෝහලක් විවෘත කළා. මාතර නව රෝහලක් හදාගෙන යනවා. කරාපිටිය රෝහල තිබුනා වගේ 05 ගුණයක් විතර පුළුල් කරලා තිබෙනවා. කළුතර රෝහලට රුපියල් මිලියන 19000 විතර වියදම් කරලා තිබෙනවා. පානදුර නවීන රෝහලක් අපි හදනවා ජර්මන් අධාර ඇතිව, ජාතික රෝහලේ මහල් 09 ක බාහිර රෝගී ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ලක් අපි හදනවා. ගම්පහ මාතෘ හා ළමා රෝහලක් අපි හදනවා. මාතලේ, දඹූල්ල අපි නව රෝහල් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. මහනුවර රෝහල ද අපි විශාල ලෙස සංවර්ධනය කළා. අපි එම රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරනවා. අපි වයඹ වෛද්‍ය පීඨය ආරම්භ කරනවා. ශිෂ්‍යයෝ 65 ක් වෛද්‍ය විද්‍යාව හදාරන්න අපි බදවා ගන්නවා.. තව අවුරුදු 02 ක් යනකොට අපි මුළු රෝහල් පද්ධතියම පරිගණක ගත කරනවා. දැනට රෝහල් 300 ක් පරිගණක ගත කර තිබෙනවා. බෙල්ජියම් රජයත් එක්ක මම ආරම්භ කළා රෝහල්වල තිබෙන පැරණි උපකරණ සියල්ල ඩිජිටල් උපකරණ බවට පත් කරන්න."
"රෝගී ප්‍රතිකාර සේවා අංශයෙන් ගත්තොත් අපි පිළිකා රෝගී ප්‍රතිකාර සීමාව ඉවත් කළා. අද අපි එක ලෙඩාට ලක්ෂ 500 වියදම් කරලා තිබෙනවා. අපි ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදෙනවා. අද වකුගඩුවක් එසේත් නැත්නම් ඒ පොසිටිවු රුධිර ඉල්ලා තමයි මිනිස්සු ආධාර ඉල්ලන්නේ වෙන කිසිවක් සදහා ආධාර ඉල්ලා පත්තරවල ලිපි දාන්නේ නැහැ. අද රෝහල්වල පොරොත්තු ලේඛණ නෑ. මුදල් තිබෙන මිනිස්සුන්ට තිබුන පහසුකම් අපි මේ රටේ දුගී දුප්පත් ජනතාවටත් ලබාදුන්නා. මම එනකොට වකුගඩු බද්ධ සැත්කම් 40 යි කරලා තිබුනේ දැන් 400 ක් කරලා තිබෙනවා. අද වකුගඩු බද්ධ කිරීම සාමාන්‍ය ශල්‍යකර්මයක් තත්ත්වයට පත්ව තිබෙනවා. අපි අක්මා බද්ධ සැත්කම ආරම්භ කළා. දැනට 100 ක් විතර කරලා තිබෙනවා. අග්න්‍යාස බද්ධය ආරම්භ කළා. අත්, පාද ඇතුලු මේ සියලු සැත්කම් අද සාර්ථක වෙලා තිබෙනවා. අපිට තව ආරම්භ කරන්න තිබෙන්නේ පෙණහළු බද්ධය විතරයි. එම පෙණහළු බද්ධ සැත්කම අපි තව මාසයක් ඇතුලත ආරම්භ කරනවා. එතකොට සියලුම අවයව බද්ධ සැත්කම් අපි ලංකාවේ ආරම්භ කරලා ඉවරයි. දැනට සිදු කළ හැම අවයව බද්ධ කිරීමක් ම ඉතාම සාර්ථකයි. පිටරට සිංගප්පුරුවටත් වඩා අපේ රටේ එම සැත්කම් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. රුපියල් මිලියන 400 ක් වියදම් කරලා පෙනහළු බද්ධයට විතරක් මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් හදනවා. දැන් ඒකේ වැඩ අවසන්ව තිබෙනවා. මේ රටේ රෝගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් අපි ලබාදීලා තිබෙනවා." යැයි ද වැඩිදුරටත් පැවැසීය.
මෙම උත්සව අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝධීශ්වරම් මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.