පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට තිබු අවස්ථාව කාදිනල්ගේ නීතිඥ අධිකරණයට පහදයි

සැප් 04, 2019

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම ලැබුණු බුද්ධි තොරතුරු ලබා දී තිබුණේ නම් පාස්කු ඉරු දින පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබුණු බව, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    එසේ කළේ නම් සිදුවූ මහා ඛේදවාචකයක් වළකා ගැනීමට හැකියාව තිබුණු බවත් ඔහු කියා සිටියේය.

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළේ යැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද යළි කැඳවනු ලැබූණ.

    මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළිත් සිදුකෙරුණා.

    එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් නත්තල් දිනයට පමණක් දෙවැනි වන කතෝලිකයින්ට ඉතාම වැදගත් දිනයක් වූ පාස්කු ඉරුදින එල්ල කෙරුණු මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා අගරදගුරු හිමිපාණන් විසින් මෙම කරුණු දැක්වීම සිදු කරන බව පැවසීය.

    එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඊට කලින් වගකිවයුතු ආයතන වෙත බුද්ධි තොරතුරු ලැබී තිබුණු බව දැනටමත් හෙළිවී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එම තොරතුරු කාදිනල් හිමිපාණන් වෙත ලබාදී තිබුණේ නම් පාස්කු ඉරුදින පැවැත්වීමට නියමිත දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබූ බව ඔහු සඳහන් කළේය.

    එවැනි පියවරක් ගැනීමට හැකියාවක් ලැබුණේ නම් සිදුවූ මහා ජීවිත හානි වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවයි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අවධාරණය කර සිටියේ.

    තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම මගින් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන බව සඳහන් කර ඇතැයි කියා සිටියේය. අග්‍රාමාත්‍ය ලේකම්ගේ ලේඛනයට අනුව ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 264 දෙනෙකු සිටින බවට අනාවරණය වන බවත් ඉන් රුපියල් ලක්ෂ 5 බැගින් 22 දෙදෙනෙකුට වන්දි පිරිනමා ඇති බව ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සඳහන් කර සිටියේය.

    Latest News