නීත්‍යානුකූල නොවන ලේඛනයක් රැගෙන ආ පුද්ගලයෙකුට සභාපති පුටුව දිය නොහැකියි; රූපවාහිනී සභාපති (විඩියෝ)

සැප් 12, 2019
  • නීත්‍යානුකූල නොවන ලේඛනයක් රැගෙන සභාපතිධූරය බලාපොරොත්තුවෙන් ආ පුද්ගලයෙකුට එය පිරිනැමීමට නොහැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවසනවා.

    අදාළ ධූරයට පත් කළා යැයි කියන තැනැත්තාගේ පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ඊට අදාළ පරිපාලන නිලධාරීන් හෝ දැන සිටියේ නැතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය කියා සිටියා. ඇය මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මැදිරි අංක 03හි පැවති මාධ්‍ය හමුවකදී. අද සවස පැවති මාධ්‍ය හමුව සංවිධාන කළේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ආරක්‍ෂක අමාත්‍යංශ විෂයෙහි පවරා ගැනීම සම්බන්ධයෙන් ඇති තත්වය පැහැදිලි කිරීම සඳහා. ජාතික රූපවාහිනිය මෙරට කීර්තිමත්ම ජනමාධ්‍ය ආයතනයක් බවත්, එම කීර්තිය තවදුරටත් රැකගැනීම තමාගේ අභිප්‍රාය බවත්, ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය සඳහන් කළා. වසර 37ක වගකීම් සහිත රාජ්‍ය මාධ්‍යයක් වන ජාතික රූපවාහිනිය තමාගේ පෞද්ගලික බූදලයක් නොව මෙය රටේ ජනතාවගේ ආයතනයක් බව පැවසූ ඇය රාජ්‍ය හා පෞද්ගලික රාජ්‍ය ආයතන සමඟ තරඟ කරමින් 1,200ක් පමණ වූ සේවක සුබසාධනය සාක්ෂාත් කරගනිමින් රූපවාහිනියේ ප්‍රතිරූපය ඉහළ නැංවීම තම ඒකායන අභිප්‍රාය බවයි, ඇය සඳහන් කළේ.

    2018 මැයි 17 වැනිදා වත්මන් පාලනාධිකාරිය කැබිනට් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ පාලනය යටතේ පත්වීම් ලැබූ බවත්, එය රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාපටිපාටිය යටතේ සිදු කළ බවත් සඳහන් කළ ඇය, ඒ අනුව එකල රාජ්‍ය ආයතන 05 කට සුදුසු හා නියමිත ක්‍රමවේදය යටතේ, ගරු අමාත්‍යතුමා පත්වීම් සිදු කළ බවද කියා සිටියා. ඔක්තෝබර් 26 සිදුවීමෙන් අනතුරුව 2018 දෙසැම්බර් 27 වැනිදා ගරු මංගල සමරවීර අමාත්‍යතුමා විසින් තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට යළිත් සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නා. අමාත්‍යවරයෙකු පත්වූ විට නිලධාරීන් ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් වුවද ගරු මංගල සමරවීර අමාත්‍යතුමා එසේ තමාට හෝ ජාතික රූපවාහිනි නිලධාරි මණ්ඩලයට ඉල්ලා අස්වීමට නොදැන්වූ බව ද ඇය පැවසුවා. ඒ අනුව ධූරයේ කටයුතු කරමින් රජයේ සංවර්ධන වැඩපිලිවෙළට සහය පළ කරමින් තමා නිරතුරුව රාජ්‍ය ආයතනයක් ලෙස ඊට අදාළ නෛතික රාමුව තුළ ක්‍රියා කළ බව ප්‍රකාශ කළා.

    රුවන් විජේවර්ධන අමාත්‍යතුමා විසින් අවස්ථා තුනකදී සභාපති ලෙස පත්කිරීමට නම් තුනක් යෝජනා කරනු ලැබුවා. රාජ්‍ය නිලධාරීන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමේ කමිටුවේ හා ජනාධිපතිතුමාගේ අනුමැතිය ඒ සඳහා ලැබුණේ නැහැ. ඒ අතරතුර සංස්ථාවට ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙකු ගරු අමාත්‍යතුමා විසින් පත්කරන ලද බවත්, එම පත්වීම ද කෝප් කමිටුව හමුවේ අභියෝගයට ලක්වුණු බවත් පැවසූ සභාපතිවරිය ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රූපවාහිනි සංස්ථා පනත යටතේ සඳහන්ව නොමැති බව ද කියා සිටියා. අනතුරුව රාජ්‍ය නිලධාරීන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කර බැලීමේ කමිටුවට හෝ අමාත්‍යංශ ලේකම්තුමාට හෝ ජනාධිපති ලේකම්තුමාට හෝ අදාළ පරිපාලන නිලධාරිට හෝ නොදන්වා නව පත්කිරීමක් රුවන් විජේවර්ධන අමාත්‍යතුමා විසින් සිදුකරන ලද බව කී සභාපතිවරිය ඔහුට ලබාදී ඇති ලියවිල්ල අනිත්‍යානුකූල එකක් බව සඳහන් කළා. අදාළ පුද්ගලයා තම කාර්යාලයට පැමිණ තමා නොසිටි අවස්ථාවක සභාපති කාර්යාලයේ සේවකයන්ට තර්ජනය කොට වැඩබාරගත් බවට ලිපියක් සකස් කර දෙන්නැයි ඉල්ලීමක් කළ බව සඳහන් කළ සභාපතිවරිය අනතුරුව පිටතින් ලබාගත් ලිපි ශීර්ෂයකට අනුව වැඩ බාරගත් බවට ලිපියක් ලබාදී ඇති බවද එම ලියැවිල්ල ජනමාධ්‍ය අමාත්‍යංශයට ලබාදී ඇතත්, එය ලැබෙන තෙක් අමාත්‍යංශ ලේකම්තුමා මෙවැනි තත්වයක් පිළිබඳව දැන සිටියේ නැහැ. අනතුරුව පසුගිය සඳුදා දිනයක නැවත අදාළ පුද්ගලයා හා කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාවට ඇතුළුවීමට ගත් උත්සාහයේ දී ඒ සඳහා තමා ඉඩ ලබා නොදුන් බව සභාපතිවරිය පැවසුවා.

    ගැටුම් ඇතිකරගැනීමට තමා අකමැති බවත්, ගැටුම් සමනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවත් සඳහන් කළ සභාපතිවරිය කාර්මික සාමය, මහජන දේපල ආරක්‍ෂා කර ගැනීම සහ රූපවාහිනී සංස්ථාවේ දී පසුගිය කාලයේ සිදුවූ නොසන්සුන්තා සිදුවීම සම්බන්ධ අත්දැකීම් ද මෙහෙනි කරමින් ආරක්‍ෂක අංශවලට අදාළ උපදෙස් ලබාදුන් බව ඇය ප්‍රකාශ කළා. පූර්ව සිදුවීම් යළි ජාතික රූපවාහිනි පරිශ්‍රයේ ඇතිවීමට මා කිසිසේත් කැමති වන්නේ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට ද එදින පියවර ගනු ලැබුවා. මංගල සමරවීර අමාත්‍යතුමාගේ පාලන කාලයේදී පරිපාලනයට හෝ සංස්ථාවේ වැඩසටහන්වලට හෝ මූල්‍ය කළමනාකරණයට හෝ කිසිදු බලපෑමක් නොකළ බව කී ඇය, ජනාධිපතිතුමා ද ජාතික රූපවාහිනියට අවශ්‍ය සහය නිරන්තරයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ද රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් මිලියන 30ක් ලබාදෙන අතර, ජාතික චිත්‍රපට සංස්ථාවට ද යම් මුදලක් ලබා දෙනවා. ජාතික රූපවාහිනියට ද හිටපු සභාපතිවරයාගේ සමයේ රුපියල් මිලියන 40ක මුදලක් ලබාදී ඇතත්, රුවන් විජේවර්ධන අමාත්‍යතුමාගේ සමයෙහි එය නොලැබුණ බව සඳහන් කළා.

    පෞද්ගලික නාලිකා මෙන් නොව පූර්ණ රාජ්‍ය නාලිකාවක ලෙස ජාතික රූපවාහිනිය රජයේ සංවර්ධන ක්‍රියාදාමයට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ සඳහා පූර්ව හා පසු ප්‍රචාර ලබාදිය යුතුවනවා. එය කුමන ආණ්ඩුවක් යටතේ වුවද රූපවාහිනී සංස්ථාව සතු වගකීමක්. ජාතික රූපවාහිනිය ජනතාවගේ බදු මුදලින් නොයැපෙන අතර, ජනතාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියා කළ යුතු බව පනතේ ද සඳහන් වනවා. අපට එම පරම වගකීම පැහැර හැරිය නොහැකි බව කී සභාපතිවරිය වෙළෙඳ පොළ ඉලක්ක මත අරමුණු කරගෙන ජාතික රූපවාහිනියට කටයුතු කිරීමට සිදුව ඇතැයි කියා සිටියා. රුපියල් මිලියන 200ක මාසික අසීරු ඉලක්කය රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන සමඟ තරග කරමින් සොයාගත යුතුව තිබෙනවා. සේවක වැටුප්, රෙදිපිළි ණය, ප්‍රසාද දීමනා යනාදී සියලු දේ නියමිත දිනට හා කාලයට ලබාදී තිබුණා.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට වැටුප් සඳහා පමණක් රුපියල් මිලියන 67ක් වැය කිරීමට සිදුව ඇති බව සඳහන් කළ සභාපතිවරිය, මහජන සන්නිවේදන ආයතනයක් ලෙස සිටිමින් එම වගකීම ඉටුකරන බව සභාපතිවරිය ප්‍රකාශ කළා. ජාතික රූපවාහිනිය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් පසුගිය වසරේදී අත්පත් කර ගෙන ඇතැයි ඇය ප්‍රකාශ කළා. එමෙන්ම හොඳම ආසියානු ප්‍රවෘත්ති චැනලය ලෙස සම්මාන ලැබුවේ ද ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයයි. ඉදිරියටත් ජාතික රූපවාහිනියේ සේවය සඳහා තමා කැපවන බව කී ඇය, ජාතික රූපවාහිනියේ නිල ලාංඡනය කිසිදු මොහොතක වෙනස් නොකරන බව ද සඳහන් කළා.

    මේ අවස්ථාවට එක්වූ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් වැරදි අදහස් හා තොරතුරු ලබාදීම හේතුවෙන් වැරදි තත්වයක් නිර්මාණය වූ බවයි. ඔහු නිහතමානී, විෂය දැනුමෙහි සඵල අමාත්‍යවරයෙකු වුවත්, ජාතික රූපවාහිනියේ අර්බුදය විසඳීමට ගත් උත්සාහය යහපත් හා ඵලදායි නොවූ බවයි ඔහු කියා සිටියේ.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියලු අංශවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 20:32

    Latest News