රාජ්‍ය උත්සව දේශපාලන මුහුණුවරක් ගන්නා අයුරින් නොපැවැත්විය යුතුයි; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

ඔක් 04, 2019

    ජනාධිපතිවරණය අවසන් වනතෙක්, රාජ්‍ය උත්සව දේශපාලන මුහුණුවරක් ගන්නා අයුරින් නොපැවැත්විය යුතු බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙයි.

    ඒ පිළිබඳ පැමිණිළි ලැබුණහොත්, අදාළ රාජ්‍ය නිලධාරීන් වගකිව යුතුයි. රාජගිරිය මැතිවරණ කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.

    “රාජ්‍ය උත්සව ඒවා හැම එකක්ම පිළිබඳව අපෙන් අහන්න කියලා අපි කියනවා. ඒ එක්කම එක එක දේවල් දේශපාලන මුහුණුවරක් ගන්නවා. අපි කියලා තියෙන වැදගත්ම කරුණ තමයි දේශපාලන මුහුණුවරක් ගන්නා බව පෙනී යන උත්සවවලදී බැනර් දාලා යම් පක්‍ෂයක්, අපේක්‍ෂකයෙක් දේශපාලඥයෙක් සහභාගි වනවානම් බැනර් දාන්න එපා. රැස්වීම්වල කතා කරන්න එපා. දේශපාලඥයන්ගේ සහභාගිත්වය හැකිතාක් අවම කරන්න. ඉතාම අත්‍යවශ්‍ය එකකදි දේශපාලඥයෙක් සහභාගි වනවානම් මුල්ගල් තැබීමේදී අනෙක් ප්‍රදේශයේ එක පක්‍ෂයක නැතුව අනෙක් දේශපාලනඥයාටත් ඇරයුම් කිරීම රටේ තියෙන්න ඕනේ සම්ප්‍රදායක්. ඊයේ ඉඳලා මෙවැනි සියලුම උත්සව අපේ තේරීම් භාර නිලධාරින්ගේ මීඩියා යුනිට් එකත්, අපේ ඉලෙක්ෂන් කොමිෂන් එකේ මීඩියා යුනිට් එකත් මේවා වීඩියෝ කරනවා. යම් විධියකින් ඒ උත්සවයේ දී දේශපාලනය දිස්වුනොත් දේශපාලඥයාට නෙමෙයි අපි දඬුවම් කරන්නේ අපේ විධාන කඩ කිරිම සම්බන්ධයෙන් රජයේ නිලධාරි මහත්වරුන්ට“

    නාම යෝජනා බාර දෙන දිනයේ, මැතිවරණ කොමිසම පරිශ්‍රයට පැමිණිය හැක්කේ, අපේක්‍ෂකයා සමඟ අට දෙනෙකුට පමණක් බව ද සඳහන් කෙරිණ.

    “අපේක්‍ෂකයා, අපේක්‍ෂකයාගේ නාම යෝජනා පත්‍රය අත්සන් කරන තැනැත්තා හා තවත් එක් අයෙක් තුන් දෙනයි. ඊට අමතරව එක අපේක්‍ෂකයෙකුට පස් දෙනා බැගින් ඇවිල්ලා මේ කාමරයට කැඳවාගෙන. ගෙදර ඉඳලා ටී.වී. එකේ වගේ බලන්න පුලුවන්. ඒ මහත්වරුන්ට එකම දේ තියෙන්නේ එළියට බැහැලා යනකොට ඒ පස් දෙනාටත් යන්න පුලුවන්. දැන් සරණ මාවතට එන්න පුලුවන් මෙතන්ට එන අපේක්‍ෂකයෙකු සමඟ අට දෙනාටයි“

    ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරිණ.

    “හත් වෙනිදා නාම යෝජනා බාරදීමෙන් පත්වන ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තමයි අපේ රටේ ජනතාවගේ විධායක බලය හිමි ජනාධිපතිවරයා වන්නේ. ඒක නිසා වෙනදා තිබිච්ච ආරක්‍ෂක විධිවිධාන ඒ ආකාරයෙන්ම යොදනවා. 6 වැනිදා උදේ 6.00 සිට විශේෂ කාර්ය බලකාය, මෙම භුමියේ ආරක්‍ෂාව බාරගන්නවා. නාම යෝජනා අවසන් වී සියලුම අපේක්‍ෂකයන් සහ දේශපාලඥයන් මෙතනින් යනතෙක් ඔවුන්ව ආරක්‍ෂා කරනවා“

    පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා...

    “ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර තිබෙනවා. ඒ සියල්ල සිදුකර අවසන්. සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර අවසන්. පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි මගින් සිදුවෙන්නේ ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි බාරගැනීම, ඒ වගේම ඒ පැමිණිලි විභාග කිරීම, ඒ පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරිවලින් සිදු වෙනවා. ජනාධිපතිවරණ පනතේ විධිවිධින උල්ලංගණය කිරීම පිළිබඳවත් ලැබෙන පැමිණිලි පිළිබඳව සොයා බලලා, ඒ පිළිබඳව විමර්ශනය කරලා නෛතික ක්‍රියාමාර්ග ගැනිමත්, පොලිස් ස්ථානවල පිහිටුවා තිබෙන මෙහෙයුම් මැදිරිවලින් සිදුවනවා“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:13

    Latest News