ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් සිටින පොහොට්ටුවෙන් ස්ෆෙයාවීල් එකක්; මුජිබර් රහුමාන්

ඔක් 06, 2019

    රජය, රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවත්, 2015 වසරට පෙර තිබූ තත්වය වර්තමානයේ නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. 

    “අපේක්‍ෂකයෝ ඉදිරිපත්වන ප්‍රමාණය දිහා බැලුවහම පේනවා පසුගිය අවුරුදු හතර හමාර තුළ අපේ යහපාලන ආණ්ඩුව විසින් ඇති කරපු ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අද ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයකට බය නැතුව ඉදිරිපත් වෙන්න පුලුවන් වාතාවරණය හැදිලා තියෙනවා. 2015 ඕක නෙමෙයි තත්වය තිබුනේ. අපේක්ෂකයෝ පවා එළියට එන්න බය වෙලා හිටියේ ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට විරුද්ධව ඡන්දය ඉල්ලනවා කිව්වොත් ඒ අපේක්ෂකයාට එදා තිබුණු තත්වයත් එක්ක නඩු වැටෙයිද, ඡන්දයෙන් පස්සේ හිරේ යන්න වෙයිද කියලා එහෙම වාතාවරණයක් එදා තිබුණා. අද එහෙම එකක් නැහැ. අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්න කලින් විපක්‍ෂයේ අපේක්ෂකයා තමයි ඉදිරිපත් වුණේ. මේ අවුරුදු හතර හමාර තුළ අපි විශාල ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රතිසංස්කරණ ඇති කිරිම තුළ අද ඕන කෙනෙකුට බය නැතුව ජනාධිපතිවරණය වෙන්න පුලුවන් ඕනෑම මැතිවරණයකට ඉඩ කඩ තියෙනවා ඒගොල්ලන්ට පෙනී සිටින්න හා ඒ ඡන්දය වෙනුවෙන් ඉල්ලන්න. ඒ ගොල්ලන්ගේ හෘද සාක්ෂියටම දන්නවා සමහර විට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා නොඉල්ලන්න ඉඩ තියෙනවා. අපිට වැඩිය හොරාගේ පැත්තේ ඉන්න මිනිස්සු තමයි දන්නේ. මොන මොන කූට වැඩ කළාද, මොන මොන වංචනික වැඩ කළාද කියලා. ඒ ගොල්ලෝ ඒවා දන්න හින්දා තමයි චමල් රාජපක්‍ෂ මහත්තයව දාලා තියෙන්නේ. රාජපක්‍ෂ පවුලේ වැඩිම චෝදනා ලබලා ඉන්න කෙනා තමයි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා. එතුමාගේ පාලන කාලයේ එතුමා ආරක්‍ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මොකක්ද එතුමාට නොලබිච්ච චෝදනාව. එතුමාට හැම පැත්තෙන්ම චෝදනා ආවා. උද්ඝෝෂණ කරන්න බැහැ. හමුදාව දාලා, පොලිසිය දාලා ඒවා යටපත් කළා. මාධ්‍ය නිදහස පිලිබඳ චෝදනා එතුමාට තියෙනවා. මම හිතන්නේ නැහැ මේ රටේ ජනතාව ආයිත් පිටිපස්සට යන්න ලැහැස්තියි කියලා. අපි ආපු ගමන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි පස්සට ගියේ නැහැ. 2015ට කලින් සිටි තත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ අපිට කාලා, බීලා එන්න පුලුවන් රටක් අපි ගොඩනඟලා තියෙනවා“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 20:12

    Latest News