වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයේදීත්

නොවැ 30, 2019

    පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්, 150ක් පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

    අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය...

    “දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්වය ස්ථාපිත වෙලා තියෙන්නේ. දිවයිනේ උතුරු මැද, ඌව වගේ පළාත්වලට වැසි ඇතිවෙන්න පුලුවන්. අනෙක් පැතිවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුලුවන්. දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ සුළු කැළඹිලි තත්වය හේතුවෙන් වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුලුවන්. ගාල්ල, මාතර ඌව පළාතත් මිලිමීටර් 100ක වගේ වැසි ඇත්වෙන්න හැකියාව තියෙනවා. ඉදිරි දවස් කිහිපයේ වැසිබර කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි“ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

    ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය, රත්කිඳ ජලාශයේ වාන් දොරටු 7ක් ඊයේ රාත්‍රී සිට විවෘත කළ බව, ජලාශය බාර කාර්යබාර ඉංජිනේරු නිශාන්ත ඩයස් මහතා පවසයි. මේ හේතුවෙන්, රත්කිද හරහා ඇති ප්‍රධාන මාර්ගයේ උල්හිටිය පාලම යටවීමෙන් ගමනාගමනය ද අඩාලවී ඇති බව අප වාර්තාකරු පවසයි.

    උතුරු පළාතට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යටව තිබේ. වවුනියාව දිස්ත්‍රික්කයට ද දැඩි වර්ෂාපතනයක් පවතින බව අප වාර්තාකරු පවසයි. ගමනා ගමනයට ද බාධා සිදුව තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල යෙදීමට නොහැකි වීමෙන් මඩකලපුව, ධීවරයින් දැඩි අපහසුතාවට පත්ව තිබේ. මේ හේතුවෙන් තම ජීවනෝපායට ද බාධා එල්ල වී ඇති බව ධීවරයින් පවසයි.

    අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවිය. ඉන් සවලකඩේ-කිට්ටන්ගි මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.

    Latest News