අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක ජල මට්ටම ඉහළට, ජන ජිවිතයට බාධා

දෙසැ 06, 2019

    අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

    අප වාර්තාකරුවන් පවසන්නේ එම ජලාශවල වාන් දොරටු විවෘත කර ජලය අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. රාජාංගණය ජලාශයේ වාන් දොරටු 14ක් හා අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 4ක් සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරිණ. ඊට අමතරව කුරුණෑගල, කිඹුල්වාන, අඹකොලවැව සහ දැදුරු ඔය යන ජලාශවල ද වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බව ජලාශ බාර ඉංජිනේරුවන් පවසති. හම්බන්තොට, ලුණුගම්වෙහෙර සහ වෙහෙරගල ජලාශවල වාන් දොරටු 06 බැගින් ද මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03ක් ද, මව්ආර ජලාශයේ වාන් දොරටු දෙකක් ද විවෘත කර තිබේ. මඩකලපුව උන්නිච්චෙයි ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත බව අප වාර්තාකරු පවසයි.

    මොනරාගල, අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් ද විවෘත කෙරිණ. බදුල්ල, මොරාන ජලාශයේ වාන් දොරටු තුනක් ද මේ වනවිට විවෘතව පවතී. ජල ගැලීම් හේතුවෙන් යාපනය-නුවර, ඒ-9 මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබේ. ජලය බැසයාම සඳහා පූනෑව වැවේ අතුරු බැම්ම කපා දැමීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කළේය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු-සිසුවියන්ට විය හැකි අපහසුතා වැළැක්වීමට යුද හමුදාව බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පාරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසන්නේ, ආපදාවට පත් ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයන්නැයි, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දුන්නේය.

    අධික වැසි හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම පාහේ වාන් දමමින් පවතින බව අප වාර්තාකරු පවසයි. පහත්බිම් හා කුඹුරු අක්කර 30,000ක් පමණ ජලයෙන් යටව පවතී. සෝමාවතිය පුදබිම මාර්ගය තවදුරටත් ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ. පූජා භූමියේ රැඳී සිටින භික්‍ෂූන් වහන්සේට හා ආරක්‍ෂක නිලධාරීන්ට අවශ්‍ය ආහාරපාන බෝට්ටු මගින් රැගෙන යාමට කටයතු කර ඇත. ඇල්ලහේන ප්‍රදේශයේදී උඩරට දුම්රිය මාර්ගය මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය තවදුරටත් අවහිරව පවතී. එහි පස් ඉවත් කෙරෙමින් පවතින බව අප වාර්තාකරු පවසයි. වර්ෂාව නිසා එම කටයුතු ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී. එම මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට පමණක් සීමා කර තිබේ.

    කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ආනන්දපුරම් සහ සිවපුරම් යන ප්‍රදේශ ජලයෙන් යටව තිබේ. විපතට පත්වූවන් බේරා ගැනිමට ආරක්‍ෂක අංශ ක්‍රියා කළ බව අප වාර්තාකරු පවසයි.
    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වය තවදුරටත් පවතින බවයි. උතුරු පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්වය තරමක් දුරට අඩුවනු ඇත.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 20:29

    Latest News