පරිසරය පිරිසිදු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව වීදි නාට්‍ය මාලාවක්

දෙසැ 13, 2019

    අවට පරිසරය පිරිසිදු කර ගැනීම දෛනික පුරුදු අතරට එකතු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වීදි නාට්‍ය මාලාවක් පසුගිය දා නුවරඑළිය නගරයේ දී පැවැත්විණි.

    එමෙන්ම පරිසරය අපවිත්‍ර කරන්නන් නීතියේ රැහැනට හසුකර දීම හා එමගින් සමාජයටත් සමස්ත රටටත් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව ද මෙහිදී ජනතාව දැනුවත් කරන ලදී.

    නුවරඑළිය දිස්තික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට සමගාමීව නුවරඑළිය නගරයේ අවිදිමත් ලෙස විවෘත පරිසරයට මුදා හැර තිබු කසළ ඉවත් කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ද සිදු කරන ලදී.

    නුවරඑළිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා කේ. එල්. එම්. සී. කුලරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ. රටම වෙනසකට භාජනය වෙමින් පවතින වකවානුවක සංචාරක පුරවරයක් වු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුන්දරත්වය පවත්වා ගැනීමට ආදර්ශයක් සැපයීම මෙහි තවත් අරමුණකි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ සඳහා රංඟන දායකත්වය ලබා දී තිබිණ.

    එම අවස්ථාවට නුවරඑළිය කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ත්‍රිවිලර් රථ සංගමයේ සාමාජිකයින් හා නුවරඑළිය පොලිසියේ පරිසර අංශයේ සහයෝගය ද ලැබී තිබිණ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහකාර අධ්‍යක්ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. කුමාරසිරි හා බි.එස්. රත්නායක, සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News