පාඨලීගේ ඇප පිළිබඳ තීරණය අද

දෙසැ 24, 2019

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබා දීම පිළිබඳ නියෝගය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) දැනුම්දීමට නියමිතයි.

    රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාඨලි චම්පික රණවක මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

    රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

    2016 වසරේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් පැවරූ බවත් වරද පිළිගෙන අවසන් කෙරුණු නඩු කටයුත්තක් බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කර සිටියේය. එසේ අවසන් වු නඩුවක් පොලිසිය විසින් යළි විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගත් තීරණය නීතියට පටහැණි බව විත්තියේ නීතිඥවරු පෙන්වා දුනි. මෙම සැකකරුට ඇප ලබා නොදී සිටීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බැවින් ඇප පනත යටතේ ඇප මත මුදා හැරීමට බාධාවක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

    2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය කුමන්ත්‍රණකාරිව කටයුතු කර නඩුව යටපත් කිරීමට පියවර ගෙන තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසිය. එහෙත් නීතිපති උපදෙස් මත යළි පරීක්ෂණ සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව සැකකාර පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 07:53

    Latest News