ධනුෂ්ක, නිරෝෂන්, කුසල් යළි දිවයිනට

ජූනි 29, 2021

    ජෛව ආරක්‍ෂණ බුබුළෙන් පිටතට යාම හේතුවෙන් තරග තහනමකට ලක් කෙරුණු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එංගලන්තයේ සිට අද (29) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරය අතරතුර මෙම ක්‍රීඩකයින් තිදෙනා එංගලන්තයේ මාර්ගවල සැරිසරන දර්ශන පෙළක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය විය. ඒ හේතුවෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පනවනු ලැබීය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලිය අතරතුරදී ජෛව ආරක්‍ෂණ බුබුළක රැඳී සිටීම අනිවාර්ය වේ.

    මෙම ක්‍රීඩකයින් තිදෙනා එම නීතිය උල්ලංඝනය කර ඇති අතර, ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර, වහාම ඔවුන් තිදෙනා දිවයිනට කැඳවීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. මෙම සිදුවීම පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවේදී ද අදහස් පළ කෙරිණ.

    Latest News