කලාපීය බලවත් රටවල යුද ශක්තියට අභියෝග කිරීමට ජපානයෙන් උපාය මාර්ගික සැලසුම්

නොවැ 28, 2021

    චීනය සහ උතුරු කොරියාව වැනි කලාපීය බලවත් රටවල යුද ශක්තියට අභියෝග කිරීමට උපාය මාර්ගික සැලසුම් සකස් කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසනවා.

    ධූරයට පත්වීමෙන් පසු සිය පළමු හමුදා රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියා. චීනයේ සහ උතුරු කොරියාවේ තර්ජන මධ්‍යයේ එරට ආරක්‍ෂාව තහවුරු කිරීමට හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා ප්‍රතිඥා දී තිබෙනවා. කලාපයේ ආරක්‍ෂක තත්වය ශීඝ්‍රයෙන් වෙනස් වන බවත්, බාහිරින් නොපෙනෙන සැබෑ යථාර්තය අතිශය දරුණු බවත් ඔහු සිය දේශනයේ දී අවධාරණය කළා.

    උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමේ නිරත වන අතරම, චීනය සිය යුද බලය ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. එය, ජපානයට පමණක් නොව, කලාපීය සෙසු රටවලට ද බලපෑම් ඇති කරන්නක් බව ජපාන නව අගමැතිවරයා අවධාරණය කළා.

    ඉකුත් සිකුරාදා අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලය සබ්මැරීන් නාශක රොකට් සහ අවි මිලදී ගැනීමට අතිරේක ආරක්‍ෂක අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 6.8ක්. මේ අනුව, නව පාලන තන්ත්‍රය යටතේ, මින් පෙර සිටි අගමැතිවරුන්ට වඩා යුද ශක්තිය වැඩිකර ගැනීමට ෆුමියෝ කිෂිඩා වැඩි අවධානයක් යොමුකර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on ඉරිදා, 28 නොවැම්බර් 2021 19:54

    Latest News