ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අවසන්

අප්‍රේ 18, 2019

    ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියරේ දී පහළොස් කෝටියකට අධික ජනයා අද ඡන්දය ප්‍රකාශ කළේය.

    වැඩි අවධානයක් යොමුවී ඇත්තේ, අද පැවති තමිල්නාඩු ප්‍රාන්ත ඡන්ද විමසීම දෙසටයි. දෙවැනි අදියරේ දී ප්‍රාන්ත 13ක පිහිටි මැතිවරණ කොට්ඨාස 97ක් සඳහා ඡන්ද විමසීම සිදු කෙරිණ. ගැටුම් පවතින කාශ්මීර ප්‍රදේශයේ පැවති මැතිවරණය කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් යොමුවිය. එහෙත්, තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති ඡන්ද විමසීම දේශපාලනික වශයෙන් වැදගත් මුහුණුවරක් ගනී.

    එම ප්‍රාන්තයේ ප්‍රබල දේශපාලන පක්‍ෂ දෙකම සිය ජනප්‍රිය නායකත්වයෙන් තොරව තරග බිමට පිවිස සිටීමයි. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායිකා ජයලලිතා මෙන්ම, ප්‍රතිවාදී ඩී.එම්.කේ. පක්‍ෂයේ කරුණානිධි ද දිවියෙන් සමුගැනීමෙන් පසු තමිල්නාඩුවේ පැවති ප්‍රධානතම මැතිවරණය මෙය වේ. කරුණානිධිගේ පුත් ස්ටාලින්ගේ නායකත්වයෙන් ඩී.එම්.කේ. පක්‍ෂය තරග බිමට අවතීර්ණ විය. එහෙත්, ජයලලිතාගේ පක්‍ෂයෙන් ඊට ප්‍රබල අභියෝගයක් එල්ල නොවන ලකුණු පවතින බව දේශපාලන නිරීක්‍ෂකයන් පවසයි.

    තමිල්නාඩුවේ ජනතාව අතර ඡන්දය පාවිච්චි කිරීම සඳහා දැඩි උනන්දුවක් පැවතිණ. රජිනි කාන්ත් හා කමලහාසන් ඇතුලු ජනප්‍රිය සිනමා නළු නිළියන් ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්වී සිටිනු රූපවාහිනී කැමරා ඇසට හසුවී තිබිණ. තමිල්නාඩුවට හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 38ක්. ඡන්ද ප්‍රතිඵල මැයි 23 වැනිදා නිකුත් වීමට නියමිතයි.

    Latest News