එරිට්ට්‍රියාව සමඟ සාමය ගොඩනැගු ඉතියෝපියානු අගමැතිට නෝබෙල් ත්‍යාගය

ඔක් 11, 2019

    මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබ් අහ්මඩ් සමත් විය.

    නොබෙල් සාම ත්‍යාග කමිටුව අද මේ බව නිවේදනය කළේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයේදී.

    විසි වසරක යුද ගැටුම් අවසන් කරමින් අසල්වැසි එරිට්ට්‍රියාව සමඟ සාමය ගොඩනැගීම උදෙසා ඔහු කළ මෙහෙය සැළකිල්ලට ගනිමින් සාම ත්‍යාගය සඳහා තෝරාගත් බව, නොබෙල් කමිටුව කියා සිටී. ඔහු නොබෙල් සාම ත්‍යාගයට තෝරා ගැනුණු ලොව සියවැන්නායි. ඒ සඳහා මෙවර සළකා බලනු ලැබූ අපේක්‍ෂකයන් හා ආයතන සංඛ්‍යාව තුන්සිය එකක්. ඉකුත් වසරේ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධූරයට ‍තේරී පත්වීමෙන් පසු රට තුළ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට අබි අහ්මඩ් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබේ.

    සිරගත කර සිටි දහස් සංඛ්‍යාත විපක්‍ෂ ක්‍රියාකාරීන් නිදහස් කිරීම සහ රටින් පිටුවහල් කෙරුණු පුද්ගලයන්ට මව් රටට පැමිණිමට ඉඩ සැලසීම ඉන් කිහිපයක්. ඔහු එරිට්‍රියාව සමඟ ඓතිහාසික සාම ගිවිසුමකට ද අත්සන් තැබීය. ස්විඩීන් ක්‍රවුඩ් මිලියන 09ක් වටිනා සාම ත්‍යාගය අබි අහ්මඩ් වෙත ලබන දෙසැම්බර් මසදී පිරිනැමීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 18:14

    Latest News