කසළ දිරාපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය ජනතා විරෝධයෙන් නවතී (වීඩියෝ)

පෙබ 29, 2020
  • ගම්පහ, වේයන්ගොඩ, කසළ අංගනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කසළ දිරාපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද නවතා දැමුණා.

    ඒ ජනතා විරෝධය හේතුවෙන්. ව්‍යාපෘතියෙන් සැලසුම් කර තිබුණේ, කිසිදු රසායනයක් මිශ්‍ර නොකර කසළ දිරාපත් කරවීමටයි. 

    පළාත් පාලන ආයතනවල කසළ බැහැර කරන අංගනවල එක් රැස්ව ඇති දිරාපත්වන කසළ කඩිනමින් දිරාපත් කරවීම සඳහායි, මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ. ඒ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි. එම ව්‍යාපෘතිය බාරව ක්‍රියා කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්. වේයන්ගොඩ කසළ අංගනයට ගම්පහ ප්‍රදේශයේ පළාත් පාලන ආයතන කිහිපයක එක් රැස්වන කසළ දෛනිකව බැහැර කෙරෙනවා.

    මීට පෙර ද බැක්ටීරියා විශේෂයක් ඉසීමේ නියමු ව්‍යාපෘතියක් බදුල්ල කසළ අංගනයේ සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි, ව්‍යාපෘති උපදේශක ඊ.එම්.ආර්.ඩී. ඒකනායක මහතා කියා සිටියේ. කසළ අංගනය හිමි පෞද්ගලික ඉඩමේ හිමිකරු කියා සිටියේ නිසි ප්‍රමිතියකින් මෙය පවත්වා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීම කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බවයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:17

    Latest News