අධිවේගී මාර්ග මෙරට ජනතාවට හුදෙක් සිහිනයක්ම පමණක් වූයේ මීට දශකයකට පෙරයි. විවේචන, ගැරහුම් මැද මෙරට ප්‍රථම අධිවේගී මාර්ගයට මුල්ගල තැබුණේ, 2006 වසරේ දී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම එවක අග්‍රාමාත්‍යවරයාව සිටියදී.
2011 වසරේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියර පින්නදූව දක්වා විවෘත කෙරුණු අතර, එහි දුර කිලෝ මීටර 95.3ක්. කොට්ටාව-ගාල්ල අතර කොටස 2011 වසරේදී විවෘත කෙරිණ. මේ අතර, 2009 වසරේ ඉදිකිරීම් ඇරඹු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය 2013 ඔක්තෝබර් මස විවෘත කෙරිණ.
ඉන් කටුනායක ගුවන් තොටුපල සිට වාණිජ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට කෙටි කාලයකින් ළඟාවීමට හැකියාව ලැබුණා. දක්‍ෂිණ අධිවේගයේ ගාල්ල-මාතර, කොටස විවෘත කෙරුණේ 2014 මාර්තු 15 වැනිදා. මේ අතර, කොළඹ පිටත වටරවුම් මාර්ගය කඩුවෙල සිට කොට්ටාව දක්වා 2014 වසරේදී ද, කඩවත-කඩුවෙල කොටස 2015 වසරේ දී ද විවෘත කෙරිණ.
2015 දක්වා ඉදි කෙරුණු අධිවේගී මාර්ග ජාලයෙන් මෙරට ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසුනේ ඔවුන් කිසි දිනෙක නොසිතූ ලෙසයි. 2015න් පසු අධිවේගී මාර්ග ඉදිකිරීම් මන්දගාමී වුණා. කඩවත-කෙරවළපිටිය කොටස 2019 වසරේ විවෘත කිරීමට වසර 4ක් ගතවූ අතර, එය විවෘත කෙරුණේ ද ගැටලු රාශියක් මධ්‍යයේ. නැවතත් අධිවේගී මාර්ගයේ මන්දගාමී ඉදිකිරීම් අධිවේගී කිරීමේ කාර්යය වත්මන් රජයට පැවරුණා.
ඒ අනුව, ඉකුත් 23 වැනිදා මාතර සිට හම්බන්තොට දක්වා කොටස ද විවෘත කිරීමට ද වත්මන් රජය සමත්වුණා. එය විවෘත කිරීමත් සමඟ කොළඹ සිට කතරගමට පැය තුන හමාරකින් ළඟාවිය හැකියි. මේ සමඟ, වරාය දෙකක් හා ජාත්‍යන්තර ගුවන් තොටුපල දෙකක් යාවීම ද විශේෂත්වයක්. මේ සමඟ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවී තිබෙනවා.