පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව ජනතාවට (වීඩියෝ)

මාර් 10, 2020
  • පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය නැරඹීමේ අවස්ථාව ජනතාවට උදාවී තිබෙනවා.

    ඒ, ලබන සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වායි. නරඹන්නන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාව ද හිමිවනවා. අධ්‍යක්‍ෂ ජනරාල් පරිපාලන, ජනාධිපති ලේකම් කාර්යාලය යන ලිපිනයට ලිපියක් යොමු කිරීමෙන් හෝ 011-2441685 අංකයට ෆැක්ස් කිරීමෙන් හෝ 011-2354354 අංකය ඇමතීමෙන් හෝ වේලාව වෙන්කර ගත හැකියි.

    පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරනවා. පැරණි අයෝනියානු ගෘහ නිර්මාණ නිර්මාණ ශෛලියට අනුව මෙය නිර්මාණය කර ඇත්තේ මීට වසර 82කට පෙරයි. එය බාහිර පෙනුමෙන් ඇතෑන්ස්හි “ඇක්‍රොපොලිස්“ කඳු මුදුනේ පිහිටි ඇතීනා නම් ශ්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “පාතිනන්“ ගොඩනැගිල්ලට සමානාත්වයක් උසුලනවා.

    ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි 29 වැනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස මෙම ගොඩනැගිල්ල ස්ථාපනය කර තිබෙනවා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථාදායකයේ පසුව සිදුවූ නාම සංශෝධන සමඟ මෙය 1931,1947 කාලයේ රාජ්‍ය මණ්ඩල සභාව ලෙස හැඳින්වූවා. පසුව එය නියෝජන මන්ත්‍රී මණ්ඩලය ලෙස හඳුන්වනු ලැබුවේ 1947, 1972 කාලයේයි.

    ජාතික රාජ්‍ය සභාව ලෙස 1978 දක්වාත් පසුව 1982 දක්වා එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසත් හඳුන්වනු ලැබුවා. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසු මෙම පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් 08 වැනි දින සිට ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරුණා.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 19:28

    Latest News