මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ගැන ප්‍රචාරය කළොත් වැඩ වරදී

අප්‍රේ 11, 2020

    මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ සමාජ ජාලා ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ප්‍රචාරණය කරන්නන්ට වසර 2ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට හැකි සඳහන් වේ.

    මේ සඳහා නීති ප්‍රතිපාදන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    සමාජ ජාලා ඔස්සේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රචාරයක් ලබා දීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව වරදක් බැවින් ඒ පිළිබඳ වි‍ශේෂ විමර්ශනයක් සිදු කරන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය. කොරෝනා ව්‍යප්තියට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

    නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ විවිධ සමාජ මාධ්‍ය තුළින් මත්පැන් නිෂ්පාදනය හා දුම්වැටි නිෂ්පාදනය පිළිබඳ වී‍ඩියෝ නිකුත් කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විටත් ආම්භ කළ බව ද අජිත් රෝහණ මහතා කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මහතා මෙසේද කීය.

    “නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට අනුව කටයුතු කරන්න කියා අප ඉල්ලා සිටිනවා. නමුත් සමහරු මේ නිරෝධායන ඇඳිරිනීතිය අවභාවිත කරමින් ඉන්නවා. ඊයේ දිනයේ දී පේරාදෙණියේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කණ්ඩායමක් රැස්කරමින් කටයුතු කර තිබුණා. ඔහුව අප අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එක්කම අද මහ සිකුරාදා දිනයයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උප්පුවේලි ගමේ කණ්ඩායමක් රැස් කරමින් යාඥා කරමින් තිබෙනවා කියා ලැබුණු තොරතුරුකට අනුව සිදු කළ විමර්ශනයේ දී හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ අයගේ මහජන සෞඛ්‍ය වාර්තාව ලැබෙන තුරු පොලිසියේ රඳවාගෙන තිබෙනවා.”

    Latest News