සමගි ජනබලවේගයේ නාමයෝජනාවලට එරෙහි පෙත්සම‍ සලකා බැලීම ලබන 09

මැයි 29, 2020

    ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ සලකා බැලීම ලබන 09 වනදා දක්වා යලි කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කර තිබේ.

    මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් එකඟතාවය මත මෙම පෙත්සම සලකා බැලීම ජුනි මස 09 වන දා සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.

    මෙම පෙත්සම ඉකුත් 22 දා සලකා බැලීම සඳහා නියම කර තිබුණත් එදිනද වගඋත්තර පාර්ශවයේ නීතිඥවරුන්ගේ ඉල්ලිම මත එය අද දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

    කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කර තිබුණි.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කර තිබේ.

    පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ සමගි බලවේගය වශයෙන් නාම යෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බවයි.

    සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

    ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට භාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු සඳහන් කරයි.

    එබැවින් අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඔෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටී.

    Latest News