ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬපට 2ක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

ජූනි 10, 2020
  • ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ දෙමාපියන්ට ලබාදීම සඳහා හඬපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ හෙළිදරව් කෙරිණ.

    මේ අතර, බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ජෙෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    පාස්කු ප්‍රහාරය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සිටි උප පොලිස් පරීක්‍ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් මේ බව කියා සිටියේය. පාස්කු ප්‍රහාරයට පෙර දින රාත්‍රි යේ පටිගත කරන ලද හඬපට දෙකෙන් එක් හඬපටයක් රාත්‍රී 11.48ටත් අනෙක් හඬපටය 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12.03ටත් පටිගත කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. එය දමිල බසින් පටිගත කර ඇති අතර, එහි සිංහල පරිවර්තනයක් සාක්‍ෂිකරු කොමිසමට ඉදිරිපත් කළේය. “ෂැංග්රිලා හෝටලයේ බෝම්බකරු ප්‍රහාරයට පෙර දින රාත්‍රී පටිගත කළ හඬපටයේ සිංහල පරිවර්තනය“ “මගේ අම්මටයි, තාත්තටයි, සහෝදර, සහෝදරියන්ටයි ලබාදෙන පණිවුඩයක්. හදිසියෙන්ම වේලාවක් නැතුව තමයි මේ පණිවුඩය කරන්නේ.

    මං කෙටියෙන් කියන්නේ අම්ම කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සාමව ගතයුතුයි. ඒ වගේම එයා පියාගේ ආගම් ඇදහීම් ක්‍රියාවලි නිසා අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පවත්වනවා. හාමුදුරුවන්ට ආධාර ලබාදෙන වැඩපිළිවෙළින් මිදෙන්න බැරිව ගියා. ඒක සිරක් කෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳියි. දෙවියන් පිළිගන්නවා මෙය සිය දිවි නසා ගැනීමක් නොවෙයි කියල. තමා විසින් කරන දානයක්. නිකම් මැරෙනවා නම් ගෙදරදීම කරන්න පුළුවන්. නැතිනම් කොහෝ හරි ගිහින් පනින්න පුළුවන්. මෙහෙම අන්‍යාගම්වල අය මරාගෙන මැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසයි. මෙම ප්‍රශ්නවලින් මම මිදෙන්න ඕන. හොඳ භක්තිකයෙක් නම් මියයාමට කැමති විය යුතුයි. හොඳ වෙළෙඳාමක් දෙවියන් එක්ක කළා. ඒ කියන්නේ මගේ ජීවිතය, මුදල් දේපළ දෙවියන්ගේ මාර්ගය වෙනුවෙන් කැප කළා. දෙවියන් තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. ඒ මට ආදරේ නිසා. ශරියා මේ රටට එන්න ඕන. දෙවියෝ කියන්නේ ආගම පිළිපදිනකම් යුද්ධ කරන්න ඕන කියලා. අම්මටයි තාත්තටයි කියන්නේ මට සමාව දෙන්න. ඊළඟ එක තමයි මමයි, ඉන්ෂානුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත්වෙනවා. ඒ හේතුවෙන් පවුලට ගොඩක් කරදර විය හැකියි. සමහර විට හිරේ දාන්නත් පුළුවන්. මට වෙන ක්‍රමයක් නෑ. ඒවා ගැන බැලුවොත් දෙවියන්ගේ මාර්ගයෙන් කටයුතු කරන්නත් බෑ ජිහාඩ් කියන එක මේ කාලේ අනිවාර්යයයි. මේ ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යයෙන් දරාගෙන පවුලේ අයට උදව් කරන්න“

    එම හඬපටය ෂැංග්රිලා බෝම්බකරුගේ බිරිඳ ෆාතිමා ජෙෆ්රි විසින් පාස්කු ප්‍රහාරයෙන් පසු ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ සහෝදරිය වන ඉබාදා ඊබ්‍රාහිමිට ලබාදී සිය දෙමාපියන්ට එම හඬපට ලබාදී ඇති බව ද සාක්‍ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය. එම හඬපට දෙමටගොඩ නිවසේ ශ්‍රවනය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්‍ෂා කිරීමට පැමිණ ඇති බවත්, ඒ සමඟ ඇය බෝම්බය පුපුරුවාගත් බවත් සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ ෆාතිමා ජෙෆ්රි කුරාණයද කියමින් සිට ඇති බව සාක්‍ෂිකරු කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරයට පෙර දින රාත්‍රී ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ සහෝදරයෙකු වන ඉජහස් අහමඩ් නීතිඥවරයෙකු මාර්ගයෙන් ෂැංග්රිලා හෝටලයේ බෝම්බකරු වන ඊබ්‍රාහිම් ඉල්හාම්ට අයත් සියලු බලය ඊබ්‍රාහිම් පවුලේ බාල සහෝදරයා වන මොහොමඩ් ඉස්මයිල් වෙත පවරා දීමට ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද කොමිසම හමුවේ හෙළිදරව් කෙරිණ.

    Last modified on බදාදා, 10 ජූනි 2020 20:02

    Latest News