මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක කිහිපයක් වෙනුවෙන් තම පක්ෂය බාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන අපේ ජන බල පක්ෂය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එම පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ලද පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ සලකා බැලීම සිදු කෙරුණා.
එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකරු පාර්ශවය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන 22දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.
අපේ ජන බල පක්ෂය යටතේ තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් පෙත්සම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් කටයුතු කළ බවයි.
එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවයි පෙත්සම්වලින් සඳහන් වන්නේ.
මේ හේතුවෙන්නා තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ගත් තීරණ නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පක්ෂය අභියාචනාධිකරණය ද ඉල්ලා සිටී.
ඊට අමතරව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.