වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කරන්න - අග්‍රාමාත්‍ය

ජූනි 27, 2020

    ඉදිරි අයවැය යෝජනාවලිය සැකසීමට පහසුවක් වන පරිදි වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්නැයි වතු සමාගම් හිමිකරුවන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 750ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව (price share supplement), නිෂ්පාදන දීමනාව (productivity incentive) සහ පැමිණිමේ දීමනාව (attendance incentive) යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය කළ ඉල්ලීමට අනුව වතු සමාගම් හිමිකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

    මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, සී.බී.රත්නායක,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ,ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, මහ ලේකම් ජීවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා, වතු සමාගම් හිමිකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

    Latest News