සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් සළසා දෙන ලෙස ඊයේ (2020.06.26) අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ සමාජිකයින් සමඟ පැවැති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය. සමාජයේ වඩාත් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස වන ළමයින්, වැඩිහිටි ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සහිත පවුල්වලට ආර්ථික අවපාතයෙන් සිදුව ඇති පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී නියෝජිතවරුන් සමඟ සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකා රජය සෑම විටම ළමා අයිතීන් හා අවශ්‍යතා ප්රමුඛකොට සළකන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සමාජයේ පීඩිත පුද්ගලයින් වෙනුවෙන් සමාජීය ආරක්ෂණ ත්රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කළේය. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබාදීමට කටයුතු කිරීම මඟින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීමට උත්සාහ ගන්නා රටවලට ණය සහන ලබාදීමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්ගේ අවධානය යොමු වූ අතර, කොවිඩ් -19 වසංගතයට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා රජය ගෙනගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශංසාව පළ කළේය.