කුරුණෑගල මහව සතිපොළ නොබෝ දිනකින් ජනතා අයිතියට (වීඩියෝ)

ජූලි 04, 2020
  • අංග සම්පූර්ණව ඉදි කෙරුණු, කුරුණෑගල මහව සතිපොළ නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    ප්‍රධාන ගොඩනැගිලි දෙකකින් සමන්විත මෙම පරිශ්‍රයෙන් වෙළෙඳුන් 400කට පමණ සෙත සැලසේ.

    මහව සතිපොළ ඉදි කෙරුණේ, නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එවකට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී එතුමාගේ උපදෙස් පරිදි 2010-2015 කාලසීමාවේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබීය.

    මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සතිපොළ රැසක් අලුතෙන් ඉදි කෙරිණ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද එවැනි සතිපොළ කිහිපයක්ම ඉදිකර තිබේ. මහව සතිපොළ ද මීට කලකට පෙර පවත්වාගෙන ගොස් තිබුණේ ගැටලු රැසක් මධ්‍යයේ.

    මේ වනවිට එම සියලු අඩුපාඩු සම්පූර්ණ කරමින්, පහසුකම් රැසක් සහිතව නව සතිපොළ ස්ථාපනය කර තිබේ. වර්ග අඩි 42,000 කින් යුත් සතිපොළ ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 117ක්.

    ජලය, විදුලිය, සනීපාරක්‍ෂක හා වාහන නවතා තැබීමේ ඇතුළු පහසුකම් රැසක් මීට එක්කර තිබේ. සෙනසුරාදා දිනයේ පැවැත්වෙන මෙම සතිපොළ සඳහා මහව, නිකවැරටිය, ගල්ගමුව, නාගොල්ලාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් තුන් දහසකට අධික පිරිසක් සහභාගි වන බව, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. පියසේන මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 20:02

    Latest News