කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රු. බි. 53ක් (වීඩියෝ)

ජූලි 04, 2020
  • කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් බිලියන 53ක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එහි ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එමගින් 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ අදාළ ක්ෂේත්‍ර සඳහා සහන සැලසෙන බවයි. සෞභාග්‍යා කොවිඩ් 19 “පුනරුද සහන“ ණය යෝජනා ක්‍රමය බලපත්‍රලාභී බැංකු ඔස්සේ හඳුන්වා දුන්නේය. ඒ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ අරමුණින්.

    වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබාගත හැකියි. රුපියල් බිලියනයේ වාර්ෂික පිරිවැටුමේ සීමාව, සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවා සපයන ව්‍යාපාර සඳහා අදාල වන්නේ නැහැ. මෙමගින් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර, වෙළෙඳාම ප්‍රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහා මෙන්ම කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර, සත්ව පාලනය, ජල ජීවි වගාව, වැවිලි කර්මාන්තය, ඇඟලුම්, ඉදිකිරීම්, සම් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ, සංචාරක, සෞඛ්‍ය සේවා සහ ආයුර්වේද, ප්‍රවාහන, සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණය, විනෝදාස්වාදය ඇතුළු අංශ ගණනාවක් සඳහා ණය ලබාදෙනු ඇත.

    කෘෂි කාර්මික අංශය සඳහා අනුමත කරන ලද ණය ප්‍රමාණය රුපියල් මිලියන 8,957ක්. ඒ යටතේ වගා කටයුුතු සඳහා රුපියල් මිලියන 947ක් හා වැවිලි අංශය සඳහා රුපියල් මිලියන 2,956ක් වෙන්කර තිබේ. කෘෂි කර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 3,038ක්. සත්ව පාලනය සඳහා රුපියල් මිලියන 722ක් හා ජලජීවි වගාව වෙනුවෙන් රුපියල් මිලියන 987ක් ලබාදෙනු ඇත. වෙනත් අංශ සඳහා ද රුපියල් මිලියන 307ක් වෙන් කෙරේ.

    කර්මාන්ත අංශය සඳහා රුපියල් මිලියන 20,102ක් මූලික වශයෙන් ලබාදීමට නියමිතයි. ඒ යටතේ ඇඟලුම් අංශය සඳහා රුපියල් මිලියන 4,724ක් සහ ඉදිකිරීම් අංශය සඳහා රුපියල් මිලියන 6,149ක් සහ සැහැල්ලු විදුලි යාන්ත්‍රික අංශය සඳහා රුපියල් මිලියන 1,672ක් වෙන්කර තිබේ. රසායන ද්‍රව්‍ය ආශ්‍රිත අංශය සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 1,169ක්. සම් හා රබර් අංශය සඳහා රුපියල් මිලියන 706ක් වෙන්කර ඇති අතර මුද්‍රණ අංශය සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 1,276ක්.

    වෙනත් අංශ සඳහා ඒ යටතේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4,406ක්. සේවා අංශය සඳහා මුලිකව වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 24,213ක්. ඒ යටතේ සංචාරක හා සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණය යන අංශවලට පිලිවෙලින් රුපියල් මිලියන 4,815ක් හා 2,389ක් වෙන්කර තිබේ.

    වෙළෙඳ අංශය සඳහා රුපියල් මිලියන 6,448ක් වෙන් කෙරිණ. සැපයුම් අංශය සඳහා රුපියල් මිලියන 2,147ක් වෙන්කර ඇති අතර, ප්‍රවාහන අංශය සඳහා රුපියල් මිලියන 1,952ක් වෙන් කෙරිණ. සෞඛ්‍ය සේවා සහ ආයුර්වේද අංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,960ක්.

    විනෝදාස්වාද අංශය සඳහා රුපියල් මිලියන 659ක් වෙන් කෙරිණ. අධ්‍යාපන අංශය සඳහා රුපියල් මිලියන 802ක් වෙන්කර තිබේ. එම අංශයේ වෙනත් ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 3,041ක් වෙන්කර ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ණය අයදුම්පත් බාරදීම අගෝස්තු 31 දක්වා අදාළ බැංකු වෙත සිදු කළ හැකිය. ණය යෝජනා ක්‍රමය බලපත්‍රලාභී බැංකු 28ක් ඔස්සේ ක්‍රියාත්මකයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෘජු මැදිහත්වීම මත කුඩා, මධ්‍ය පරිමාණ හා අනෙකුත් ව්‍යාපාර අංශ දිරිගැන්වීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 20:34

    Latest News